කොවිඩ්-19 වසංගත තත්ත්වය යටතේ බොහෝ සම්ප්‍රේෂණයන් තවමත් සිදුවන්නේ කුටුම්භයන් තුළදී බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.
සමාජ මාධ්‍ය ප්‍රශ්නෝත්තර සාකච්ඡාවකදී අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ බෝවන රෝග හා වසංගත රෝග විද්‍යා විද්‍යාඥ මාරියා වැන් කෙර්කොව් කියා සිටියේ යමෙකු කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්ෂාවක් කළහොත් ඔවුන් වෛද්‍ය මධ්‍යස්ථානයක රැකබලා ගත යුතු බවය. නමුත් ප්‍රායෝගිකව එය සැමවිටම සිදුවිය නොහැකි බව තමා තේරුම් ගෙන ඇති බවද ඇය පැවසුවාය.
"අප දකින බොහෝ අවස්ථාවන්හිදී එය ගෝලීය වශයෙන් කළ නොහැකි බව අප වටහාගෙන සිටිනවා. නමුත් ඔබ ඉහළ අවදානම් කණ්ඩායමක සිටී නම්, ඔබ 60 ට වැඩි නම්, ඔබට වෙනත් රෝගාබාධ තිබේ නම් ඔබ වෛද්‍ය පහසුකමක් යටතේ වඩාත් සැලකිලිමත් වීම වැදගත්. එයට හේතුව ඔබ දරුණු රෝගී තත්ත්වයන්ට හා මරණයට පවා ගොදුරුවීමේ වැඩි අවදානමක් පවතින නිසයි." ඇය සඳහන් කළාය.
කොවිඩ්-19 ආසාදිත පුද්ගලයෙකු නිවසේදී රැකබලා ගන්නේ නම් වෛරසය නිවැසියන් තුළ සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් ඇති බව ඇය වැඩිදුරටත් පැවසුවාය.
"බොහෝ සම්ප්‍රේෂණයන් ඇත්ත වශයෙන්ම තවමත් සිදුවන්නේ කුටුම්භයන් තුළයි. චීනයෙන් අනාවරණය වූ සිද්ධීන් ආශ්රයෙන් මෙය අප මුල සිටම දැන සිටියා. එහිදී චීනය විසින් සිදුකළ වැදගත්ම දෙය නම්, මෙය හඳුනාගෙන පසුව ආසාදනය වූ පුද්ගලයන් නිවසින් පිටතදී හුදකලා කිරීමට කටයුතු කිරීමයි." වැන් කෙර්කොව් වැඩිදුරටත් සඳහන් කළාය.