2019 හා 2020 වසරවල ශ්‍රී පාද වන්දනා වාරය අද(11) දිනට යෙදුණ උඳුවප් පොහොය දිනෙන් ආරම්භ විය.
එසේ ආරම්භ වු ශ්‍රිපාද වන්දනා සමය 2020 වසරේ වෙසක් මස පසළොස්වක පොහොය දිනෙන් නිමාවට පත්වේ. මාස හයක් පුරාවට දිවා රාත්‍රි දෙකෙහිම ලක්ෂ සංඛ්‍යාත විවිධ ජාතීන් මෙන්ම විවිධ ආගම් අදහන්නන් සිරිපා වන්දනාවේ යෙදෙති. ගල්පඩි නගිමින් දැඩි සීතල මැද්දේ වැඩිදුරක් පා ගමනින් යමින් වන්දනාමාන කිරීමට ලෝකයේ ඇති එකම පුජා භූමිය ලෙස සමනල කඳු වැටියේ ඉහළම ස්ථානයේ පිහිටි ශ්‍රි පාදස්ථානය සැලකේ. එය වු කලී ලක්ෂ සංඛ්‍යාත බෞද්ධයන්ගේ මුදුන් මල් කඩක් බඳු ඵෙතිහාසික මෙන්ම අතිසුන්දර පුජා භූමියකි.
මුහුදු මට්ටමේ සිට මීටර් 2243 ක් උසකින් සමන්විත සමනල කඳුවැටියේ ඉහළම පිහිටි ශ්‍රි පාදස්ථානයට පිවිසීමට මාර්ග කීපයක්ම තිබේ. එහෙත් දැනට බැතිමතුන් විශාල ලෙස භාවිතා කරනුයේ මාර්ග දෙකක් පමණී. ඒ හැටන්, නල්ලතන්නිය හරහා වැටී ඇති මාර්ගය සහ රත්නපුර, පලාබද්දල හරහා වැටී ඇති මාර්ගයයි. මෙම මාර්ග දෙකට අමතරව කුරුවිට මාර්ගය, මරේ මාර්ගය මෙන්ම මාලිබොඩ මාර්ගද භාවිතා කරමින් ශ්‍රිපාදයට පිවිසිය හැක.
එහෙත් මෙකී මාර්ග අතරින් ශ්‍රීපාද වන්දනාවේ යෙදීමට ඇති ඉතාමත් ආරක්ෂාකාරී මෙන්ම වඩාත් පහසුකම්වලින් සමන්විත මාර්ග දෙක වන්නේ හැටන්, නල්ලතන්නිය හා රත්නපුර, පලාබද්දල යන මාර්ගයන්ය. එබැවින් ඔබ ශ්‍රීපාදය වන්දනා කිරීමට යන්නේ නම් පහසුකම්වලින් හා ආරක්ෂාව අතින් ඉහළ තත්ත්වයේ පවතින ඉහත සඳහන් මාර්ග දෙක භාවිතා කිරීම වඩාත් සුදුසු වේ.
මෙම ඵෙතිහාසික පුජා භූමිය වන්දනාමාන කිරීමට ඔබ රත්නපුර, පලාබද්දල හරහා වැටී ඇති මාර්ගය භාවිතා කරන්නේ නම් සමනල කඳුවැටියේ කිලෝමීටර් හතරහමාරක ගල් පඩි තරණය කළ යුතුය. එසේම ඔබ හැටන්, නල්ලතන්නිය හරහා වැටී ඇති මාර්ගය භාවිතා කරන්නේ නම් එම දුරම ගල් පඩි තරණය කල යුතුය. වර්ෂාව සහිත කාලයේදි මෙම ගල් පඩි නැගීමේදි විශේෂයෙන්ම ඔබගේ නඩයේ වයෝවෘද්ධ මෙන්ම කුඩා ළමුන් පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුත්තේ ලිස්සා යාම්වලට ලක් විය හැකි බැවිනි. එහෙත් වර්තමානය වන විට මෙම මාර්ගයන්ගේ ගල් පඩි ඉතාමත් ආරක්ෂාකාරී ලෙස මහන්සියකින් තොරව ගමන් කිරීමට හැකිවන පරිදි සංවර්ධනය කොට තිබේ.
ශ්‍රීපාද වන්දනාවේ යෙදෙන ඇතැම් වන්දනා නඩවල ඇතැම් පුද්ගලයන්ගේ හිතුවක්කාරී ක්‍රියාකාරකම් හේතුවෙන් විවිධ අනතුරු සිදුකර ගනී. එසේම එම මාර්ගයන්ගේ පිහිටි ගල් පඩි තරණය කිරීමේදි අනුගමනය කල යුතු ආරක්ෂාකාරී ක්‍රියාවන් තුට්ටුවකට මායිම් නොකිරීම හේතුවෙන් වන්දනාකරුවන් විවිධ අනතුරු හා අකරතැබ්බ සිදු කර ගනිති. ඔබ ශ්‍රීපාදයට පිවිසෙන විටදී මේ පිළිබඳව වඩාත් උන්නදුවෙන් මෙන්ම වඩාත් කල්පනාකාරී වීම වටිනා ක්‍රියාවකි.
ශ්‍රී පාදයට පිවිසෙන මාර්ගයන් ආසන්නයේ ශ්‍රිපාද වන්දනා අවාරයේදි බඹර කූඩු තැනීම බොහෝ විට සිදුවන සාමාන්‍ය දෙයකි. එහෙත් එකී තත්ත්වය පසුගිය වන්දනාවාර වලදී මෙන්ම මෙවරද වාර්තාවී නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන වාර්තා අනාවරණය කරයි.
ශ්රීපාදස්ථානයට පිවිසෙන සෑම වන්දනා නඩයක්ම විදුලි පන්දමක් හෝ කීපයක් රැගෙන යාම වටිනා දෙයකි. ඒ මන්දයත් කිවහොත් ඔබගේ වන්දනා නඩයේ සිටින කුඩා ළමුන් මෙන්ම වයෝවෘද්ධ පුද්ගලයන් ගමන් ගන්නා විටදී ඔවුන්ගේ විවිධ අවශ්‍යතාවයන්ට දැඩි පහසුවක් වෙන බැවිනි. වර්තමානයේදි සෑම ජංගම දුරකථනයකම පාහේ විදුලි පන්දම් සේවාව ලබා ගත හැකි වුවද එයින් පිටවෙන ආලෝකය ප්‍රමාණවත් නොව අවස්ථාවන්ට මුහුණ දිය හැකි බැවින් විදුලි පන්දමක් රැගෙන යාමට වගබලා ගැනීම නුවණට හුරු ක්‍රියාවකි.
ශ්‍රී පාදස්ථානයට පිවිසෙන සෑම මාර්ගයකම බොහෝ ප්‍රදේශයන්වල ජංගම දුරකථන සම්බන්ධතා (සිග්නල්) නොලැබී යාමේ අවස්ථාවන් මතු වේ. එබැවින් ඒ පිළිබඳව මතකයේ තබා ගෙන වන්දනාවේ යෙදීම වටී. ඒ මන්දයත් නඩයේ අයෙකු අතරමං වුවහොත් සොයා ගැනීමට බාධාවක් වෙන බැවිනි. එමෙන්ම මෙකී මාර්ගයන්ගේ හඳුනා ගැනීමට විශේෂ ස්ථාන නොමැතිකම මෙන්ම ස්ථාන පැවැසීමට නොදන්නාකම නිසා අතරමංවුවෙකු සොයා බැලීම සඳහා ගැටලු මතුවේ. එබැවින් ඒ පිළිබඳවත් වන්දනා නඩවලපිරිස් යම් දැනුවත් භාවයකින් සිටීම ඔබේ වන්දනා ගමට පහසුවකි.
සිරිපා කරුණා කිරීමේදි මාර්ගයේ දකුණු පසින් ගමන් කිරීම සියලුම බැතිමතුන්ගේ උතුම් මෙන්ම යහපත් ක්‍රියාවකි. එමගින් පඩිපෙල් සහිත මාර්ගයේදි සිදුවිය හැකි විවිධ අනතුරු අවම කර ගත හැකිය. එසේම බොහෝ අවස්ථාවලදී අපට දැකිය හැකි කරුණක් වන්නේ ඇතැම් අය මාර්ගය අවහිර වන සේ නැවතී ගිමන් හැරීමය. එම පුරුද්දෙන් ඔබ වැළැකී සිටීමට කටයුතු කරන්නේ නම් එය ඔබ සතු හොඳ පුරුද්දක් සේම යුතුකමක්ද වන්නේය.
වන්දනාවේ යෙදීමේදි සෑම වන්දනා නඩයක්ම හැකි සෑම විටම තමන්ට අවශ්‍ය කරනු ලබන බිස්කට්, ජලය, තුවාල ප්ලාස්ටර්, පැනඩෝල් වැනි විවිධ කළමනා හැකිතාත් රැගෙන යාමට පියවර ගත යුතුය. එය ඔබේ මුදල් පසුම්බියට ඉතිරියක් සේම සිරිපා නැගීමේදි සහ බැසීමේදි සිදුවන විවිධ වු අපහසුතාවයන්ට ලක්වීමෙන් වැලකී සිටීමට ඔබට එයින් හැකි වෙනු ඇත.
ශ්‍රීපාදය වන්දනා කිරීමට යාමේදි හෝ වන්දනා කර ආපසු ඒමේදි එම මාර්ග අවට ඇති ජලාශ, දිය ඇලි, ඇළ, දොල, දිය කඩිති, වැව්, ගංගාවන් වැනි ස්ථානවලට බැස දිය නෑමහෝ වෙනත් අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට කටයුතු නොකිරීම සෑම දෙනෙකුම වග බලා ගත යුතු කරුණකි. දිය නෑමට ඇති ආරක්ෂිත සුදුසු ස්ථානවල පමණක් දිය නෑම සිදු කිරීම ඇති හොඳම නුවණක්කාර දෙය වේ.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවැසුවේ මේ වනවිට ශ්‍රීපාද මාර්ගය අවට පිහිටි සියලුම ලොකු කුඩා ජලාශ, ඇළ, දොළ, වැව්, ගංගා, දිය ඇලි ආදියේ ජලය පිරී පවතින හෙයින් ඒවාට අනාරක්ෂිත ස්ථාවලින් බැස දිය නෑම දැඩි සේ අනතුරුදායක බවය. මෙම මාර්ග අවට ඇති බොහෝ ජල පහරවල ජල මට්ටම හිටි හැටියේම ඉහළ යාමේ ප්‍රවණතාවයක් පවතී. මෝහිණි දිය ඇල්ල ඊට කදිම උදාහරණයකි. එබැවින් ඒ පිළිබඳව සියලුම වන්දනාකරුවන් දැඩි සේ සිතට ගත යුතු කරුණක් ලෙස හැඳින්විය හැක. මාඋස්සාකැලේ හා කාසල්රී ජලාශවලත්, මස්කෙළි ඔයෙත් දිය නෑමට යෑම අනතුරු සහිත බැවින් ඒ පිළිබඳවත් වන්දනා නඩ වඩාත් සැලකිලිමත් විය යුතුය.
ශ්‍රී පාද වන්දනාවේ යෙදෙන ඔබගේ නඩයේ සියළුම දෙනා සතුව හදිසි අවස්ථාවක දැනුම් දිය හැකි අයෙකුගේ දුරකථන අංකයක් සටහන් කොට තැබීම හොඳ ක්‍රියාවකි. වන්දනා නඩයේ කුඩා ළමුන් සිටීනම් එම දුරකථන අංකය ඔවුන් පැළැද සිටින ඇඳුමක නොගැලවෙන සේ සවි කිරීම වැදගත්ය. එවිට ඔවුන් අතරමංවීමකදී හෝ වෙනත් හදිසි අවශ්‍යතාවයකදී සිදුවන විවිධ දුෂ්කරතා මග හරවා ගත හැක. එසේම ඔබට යම් කිසි හදිසි අවශ්‍යතාවයක් සිදු වුව හොත් හැටන්, නල්ලතන්නිය හෝ රත්නපුර යන පොලීසියකට ඒ බව දැනුම් දිය හැකිය. එබැවින් මෙහි සඳහන් එම පොලිස් ස්ථානයන්ගේ දුරකථන අංක සටහන් කර ගෙන වන්දනාවේ යෙදීම සෑම නඩයකටම ප්‍රයෝජනවත් වෙනු ඇත.
*හැටන් පොලීසිය- 051-2222222
*නල්ලතන්නිය පොලීසිය- 0513579608
*රක්නපුර පොලීසිය- 045-2222222
මීට අමතරව ශ්‍රීපාදයට පිවිසෙන මාර්ගවල විවිධ ස්ථානයන්ගේ ස්ථාපිත කොට ඇති පොලිස් මුර පොළවල් කීපයක්ද වේ. ඒවායේ දුරකථන අංක එම ස්ථානයන්ගේ ප්‍රදර්ශනය කොට තිබේ. මෙවරද ශ්‍රීපාද වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් පැය 24 පුරාම දියත් කොට ඇති බව පොලීසිය සඳහන් කරයි.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා සඳහන් කරන ලද්දේ මෙවර හැටන්, නල්ලතන්නිය මාර්ගයෙන් පැමිණෙන වන්දනාකරුවන්ට අවශ්‍ය සියලුම පහසුකම් සපයා දීමට රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සමග එක්ව පියවර ගෙන ඇති බවය. ශ්‍රීපාදස්ථානයේ ගෞරවය ආරක්ෂා කරමින් මෙම පුණ්‍ය භූමිය සහිත අතිසංවේදි පරිසර පද්ධතිය මතු පරපුර සඳහාත් ආරක්ෂා කිරීමට වන්දනාකරුවන්ගෙන් ලැබෙන සහයෝගය ඉතාමත් වැදගත් බවද දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.
විශේෂයෙන්ම මත්පැන් මත්ද්‍රව්‍ය පානය කොට රිය පැදවීමත්, එමෙන්ම ජලාශ, ඇළ, දොළ, වැව්, දිය ඇලි හා ගංඟාවන්ට බැස දිය නෑමක් අනතුරුදායකය. මෙවැනි අවස්ථාවලදී ජීවිත හානි සිදු වු අවස්ථා සෑම වන්දනා වාරයකදීම පාහේ වාර්තා වෙයි. මෙම උතුම් වන්දනා ගමන සාර්ථක කර ගැනීමේ සම්පුර්ණ අයිතිය හා වගකීම ඔබ සතුය. එය තරයේ සිහි තබා ගැනීම ඔබගේ මෙන්ම ඔබගේ නෑ හිත මිතුරන්ගේ සතුටට හේතුවනු ඇත.
ශාන් හුලනුගේ