ශ්‍රී ලංකාව මතු අනාගතයේ දී ආනයනික භාණ්ඩවලින් පිරුණු රටක් වෙනුවට අපනයන වෙළඳපොළ ජයගත් මිනිසුන්ගෙන් පිරුණු රටක් බවට පත් කිරීමට අවශ්‍ය තාක්ෂණය, ඊට අදාළ මානසිකත්වය හා සංස්කෘතිය නිර්මාණය කිරීමට කැප වන ලෙස කර්මාන්ත ක්ෂේත්රයට අදාළ සියලු පිරිස් වෙතින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඉල්ලා සිටියි.
අද කර්මාන්ත අමාත්‍යාංශයේ පැවැති ‘ජාත්‍යන්තර සාධාරණ වෙළෙඳ සංකල්පය’ පිළිබඳව දේශීය රෙදිපිළි නිෂ්පාදකයන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවෙහි ප්‍රධාන දේශනය පවත්වමින් ඒ මහතා මෙසේ ඉල්ලා සිටියේය.
“කොරෝනා වසංගතයට පෙර දේශීය රෙදිපිළි නිෂ්පාදකයන් සමඟ පැවැති සාකච්ඡාවක දී ඔවුනට තම නිෂ්පාදන අපනයනය පිළිබඳව මතුව ඇති ගැටලු රැසක් සාකච්ඡාවට බඳුන් විය.
ඒ අනුව ‘ජාත්‍යන්තර සාධාරණ වෙළෙඳ සංකල්පය’ ඇතුළු අපනයනයට අදාළ දැනුම සහ අපනයන වෙළෙඳපොළ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දීමට මෙවැනි වැඩමුළුවක් යෝජනා කරනු ලැබු බව අමාත්‍යවරයා පැවසීය.
මෙහිදි අදහස් දැක්වු අමාත්‍යවරයා,
“දේශීය රෙදිපිළි නිෂ්පාදකයාට අපනයන වෙළෙඳපොළ ජය ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම ජනතාවාදී රජයක් ලෙස අප කළ යුතුව තිබුණා. අපනයන සංවර්ධන මණ්ඩලය සහ වෙනත් දේශීය රෙදිපිළි කර්මාන්තයට අදාළ ප්‍රවීණයන් පිරිසක් යොදා ගනිමින් ඒ වගකීම තමයි අපි මෙසේ ඉටු කරනු ලබන්නේ. අපේ රජය දේශීය රෙදිපිළි කර්මාන්තය පිළිබඳව දැඩි උනන්දුවක් දක්වන නිසා තමයි ඒ සඳහා වෙනමම රාජ්‍ය අමාත්‍යාංශයක් ද පිහිටුවනු ලැබුවේ. කර්මාන්ත විෂය භාර කැබිනට් අමාත්‍යවරයා ලෙස මට දැක ගත හැකියි, දේශීය රෙදිපිළි කර්මාන්තය පිළිබඳව පමණක් නොවෙයි. සියලු ග්‍රාමීය කර්මාන්තයන් කෙරෙහි විශාල ජනතා උද්යෝගයක් ඇති වී තිබෙන බව. දේශීය පාරිභෝගිකයා අද දේශීය නිෂ්පාදන මිලදී ගැනීමේ ප්‍රවණතාවක් ඇති වෙමින් තිබෙනවා. එම වාතාවරණය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ වගකීම අප වෙත පැවරී තිබෙනවා”.