රටේ ඉඩම් විකුණන් නැති බව කියමින් බලයට පත් රාජපක්ෂ ආණ්ඩුව මේ වන විට රටේ ආර්ථික මර්මස්ථාන චීනයට විකුණා දමමින් සිටින බවත්, ආණ්ඩුව රාජපක්ෂ දේපල වෙළෙන්දෝ බවට පත්ව තිබෙන බවත් සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.
පොළවට ආදරය කරන, පොළව සිඹින දේපල වෙළෙන්දෝ කොළඹ තිබෙන ඉඩම් චීනයට විකිණීමට සෙලන්දිවා නමින් අලුත් සමාගමක් ආරම්භ කර තිබෙන බවද කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා පැවසුවේය.
මේ ආණ්ඩුව බලයට එන විට අලුත් රටක්, විනයගරුක රටක් හදන්න එනවා කියලයි කිව්වේ. අරයා ඉඩම් විකිණුවා, මෙයා ඉඩම් විකිිණුවා කියලා තමයි මේ අය බලයට පැමිණියේ. හැබැයි දැන් රාජපක්ෂ දේපල වෙළෙන්දෝ කියලා තමයි අපිට කියන්න වෙලා තියෙන්නේ.
පසුගිය ඉතිහාසයේ කිසිම රජයක් සින්නක්කරයට විකුණලා නෑ. බදු දීලා තියෙනවා. රාජපක්ෂවරු විතරයි සින්නක්කරයට වෙනත් රටවල් වලට ඉඩම් විකිණුවේ.
රාජපක්ෂවරු ෂැංග්‍රීලා ඉඩමේ ඉදලා ඒ අවට තිබුණ සියලුම ඉඩම් සින්නක්කරයට විකුණලා දැම්මා. මේ ආණ්ඩුව බලයට ආවෙත් අපි කිසිම ඉඩමක් විකුණන්නේ නෑ, විකුණපු ඉඩම් අපි ආපහු අරගන්නවා කියලයි. දැන් මොකක්ද වෙලා තියෙන්නේ?
බිමට ආදරය කරනවාය කියන, බිම ඉඹින දේපල වෙලෙන්දෝ කොළඹ තිබෙන සියලුම ආර්ථික මර්මස්ථාන ටික වෙන්දේසි කිරීමට සෙලන්දිවා කියලා සමාගමක් හදලා තියෙනවා. ඉතාමත් ඉක්මනින් ඉඩම් විකිණීමේ වැඩපිළිවෙල හදලා තියෙනවා.
දැන් නාගරික සංවර්ධන අධිකාරිය යටතේ තමයි විකුණාදැමීම සිදුකරන්නේ. නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඉඩම් සංවර්ධනය කරනවා නම් ශ්‍රී ලංකා රජයටම ආයෝජනය කරලා ඒවා සංවර්ධනය කරන්න පුලුවන්නේ.
දැන් නාගරික සංවර්ධන අධිකාරිය මැදට දාලා වෙනත් අයට ඉඩම් විකිණීමට තමයි මේ උත්සාහ ගන්නේ. වෙනත් විදියකට කියනවා නම් චීන නගරයේ, චීන කොලනියේ, වරාය නගරය නම් චීන කොටසේ අනු ශාඛාවන් ලෙස මේවා චීනයටම දෙන්න තමයි සූදානම් වෙන්නේ.
චීන වරාය නගරය, කොළඹ නගරය දක්වා ව්‍යාප්ත කිරීමේ සැලසුම තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ.
පෝර්ට් සිටි පනත සම්මත කරගන්නවා එක්ක තමයි සෙලන්දිවා සමාගම එළියට එන්නේ. මේ සේරම එකකට එකක් සම්බන්ධ කාරණා. මේ සියල්ල චීනයට රට ලියලා දීමේ තවත් කොටසක් විදියට තමයි අපි දකින්නේ.”