මේ රටේ දේශපාලඥයින්ට ගොවීන්ගේ ප්‍රශ්න හා ගැටලු අමතක වී වෙනත් ප්‍රශ්න දෙස අවධානය යොමු ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා කියා සිටියි.
දඹුල්ල හා ගලේවෙල ප්‍රදේශවල ලොකු ළූණු ගොවීන්ගේ බිජ සඳහා රජය මගින් ගෙවන බදු සහනාධාර මුදල් නොලැබීම සම්බන්ධයෙන් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී හෙතෙම මෙම අදහස් පළ කළේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු නාමල් කරුණාරත්න මහතා ,
‘ රජයෙන් ළූණු ගොවියෙකුට ගෙවන්න නියම වෙලා තියෙන රුපියල් හාර දහස් පන්සීය ගානේ ගෙවන්න තියෙනවා එක බීජ කිලෝවකට
ඒවගේ චෙක්පත් පවා ඇවිත් තියෙන්නේ. අද කෘෂිකර්ම රාජ්‍ය ඇමතිතුමා එකඟ වුණා මේ මුදල් කඩිනමින් ගෙවන්න.
අපි විශ්වාස කරනවා ඒ කටයුත්ත එහෙම වෙයි කියලා.
රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා සමග මේ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා.
එතුමගේ විෂය පථය යටතේ වැලිමඩ අල වගේම දඹුල්ලේ ලොකු ළූණුත් මිලට අරන් තවමත් කොටසක් ඒ සල්ලි දිලා නැහැ.
අපි කියනවා රිසාඩ් බදියුදීන් ඇමතිතුමාට දැන් මාසයක් ගතවෙනවා මේ සල්ලි දිලා නැහැ ඔබතුමා කීවා සතියෙන් මේ සල්ලි දෙනවා කියලා.
කරුණාකරලා මේ ලොකු ළූණු ගොවින්ගේ මුදල් ටිකට අල ගොවීන්ගේ මුදල් ටිකයි ලබා දෙන්න කියලා.
විශේෂයෙන්ම මේ රටේ තකතීරු දේශපාලනඥයින්ට අද මේවා ප්‍රශ්න නෙමෙයි.
මේ ප්‍රශ්නෙත් එහෙම තමයි අදාළ ගොවියට නෙමෙයි චෙක් එක ඇවිත් තියෙන්නේ වෙනත් කෙනෙකුට.
අද ගොවියෝ ගොවියෝ ගහගන්න තත්ත්වයට අද පත්වෙලා තියෙනවා.
පාර්ලිමේන්තුවේ ඉන්න අම්බරුවෝ ගහගත්තට ගොවි ජනතාවට ප්‍රශ්න ඇති කරන්න කාටවත් අයිතියක් නැහැ.
දැන් තියෙන ප්රශ්නය තමයි කවද්ද මැතිවරණයක් තියෙන්නේ පොදු අපේක්ෂකයා කවුද සන්ධානේ මොකක්ද මේවා තමයි ප්‍රශ්න.
ජාතික ආණ්ඩුව හදනව ද ඇමති මණ්ඩලය වැඩි කරගන්නවද, කාට ද ඇමතිකම් හම්බෙන්නේ මේවා තමයි මේ රටේ ප්‍රශ්න.