මැතිවරණ කොමිසම ස්වාධීන ආයතනයක් වන අතර ආණ්ඩුවේම මැතිඇමතිවරුන් එම කොමිසම අපහසුතාවයට ලක් කිරීමට කටයුතු කිරීම කනගාටුදායක බව සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ මහතා පවසයි.
ඒ මහතා මේ අදහස් පැවසුවේ අද (28) ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පියසේන ගමගේ මහතා ,
මැතිවරණ කොමිසම කියලා කියන්නේ දහනව වැනි සංශෝධනයෙන් ස්ථාපිත තනිකරම ස්වාධීන කොමිසමක් . ඒකට කාටවත් ඇගිලි ගහන්න පුළුවන් කමක් නෑ. රටේ හැම දෙනාම පිළිගත්තා මැතිවරණ කොමිසම ආණ්ඩුව ද විපක්ෂයද මේ කවුරුත් සියලු දෙනාම හොඳට පිළිගත් ආයතනයක් බවට පත් වුණා.
නමුත් අද ස්වාධීන මැතිවරණ කොමිසම ආණ්ඩුව අපේක්ෂා කරන ආණ්ඩුව බලාපොරොත්තු වන දේවල් ඒ තුළින් නිකුත් වෙන්නේ නෑ කියලා ආණ්ඩුවේ දෝෂ දර්ශනයට ලක්ව තිබෙනවා. ආණ්ඩුවේ සමහර මැති ඇමතිතුමන්ලාගේ ඉලක්කය බවට පත්ව තිබෙනවා. මැතිවරණ කොමිසමට විවිධ චෝදනා කරනවා.
ස්වාධීන මැතිවරණ කොමිසම ස්වාධීන තත්ත්වය ගැන හිතන්න ජනතාවට නැවතත් අවස්ථාවක් ලැබිලා තියෙනවා. අපි බලාපොරොත්තු වන්නේ මැතිවරණ කොමිසම ස්වාධීන නම් මැතිවරණ කොමිසමේ සියලු කටයුතු ස්වාධීනව සිදුවෙනවා කියන එක. ජනතාව බලාපොරොත්තු වෙන්නේ ස්වාධීන මැතිවරණ කොමිසම මැතිවරණ කොමසාරිස්වරයා කියන දේ හරි කියන එක.
මැතිවරණ කොමිසම අපහසුතාවයට පත් කරන්න රජයේම මැතිඇමතිතුමාලා කටයුතු කිරීම ගැන ඉතාම කනගාටුදායකයි.