වීසා නීති උල්ලංඝනය කළ 180කට වැඩි විදේශිකයන් පිරිසක් අනිවාර්යයෙන් පිටුවහල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
විවිධ හේතු මත ශ්රී ලංකාවට පැමිණ ඇති ඔවුන් මේ වනවිට මිරිහාන රැඳවුම් කඳවුරේ රඳවා ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැඩබලන පාලක, ජනරාල් පසන් රත්නායක මහතා 'අද' පුවත්පතට පැවසීය.
මෙහි සිටින වැඩි පිරිසක් නියමිත වීසා කාලය මාස 03කට වඩා ඉක්මවා ඇති සහ වීසා නීති උල්ලංඝනය කළ පිරිස බවද හෙතෙම සඳහන් කළේය.
මෙම පිරිස අතර ඉන්දීය, චීන සහ නයිජීරියා ජාතිකයන් වැඩි වශයෙන් සිටින බවද වාර්තා වේ.
මේ සම්බන්ධවෙන් අදහස් දක්වමින් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැඩබලන පාලක, ජනරාල් පසන් රත්නායක මහතා පවසා සිටියේ,
"ආගමන විගමන නීති උල්ලංඝනය කළ 6,700ක් වගේ පිරිසක් ඉන්න බව වාර්තා වෙලා තිබෙනවා. මේ පිරිස පිටුවහල් කරන්න ඉන්න පිරිස නෙවෙයි. ඔවුන්ගේ වීසා කාලය සතියක් දෙකක් ඉක්මවූවන්. මේ පිරිස ඇතැම් විට දඩ ගෙවලා වීසා කාලය දික්කර ගෙන රටෙන් බැහැර වෙනවා. නොයෙක් හේතු මත ඇතිවූ ප්රශ්න හේතුවෙන් නියමිත දිනට වීසා කාලය දීර්ඝ කරගන්න බැරි වුණු පිරිසක් මේ ඉන්නේ.
ඊට අමතරව මිරිහාන රැඳවුම් කඳවුරේ 180කට වැඩි පිරිසක් ඉන්නවා. ඔවුන් අනිවාර්යයෙන්ම පිටුවහල් කරනවා. ඔවුන් වීසා නීති උල්ලංඝනය කරපු අය. සචාරක වීසා මත ලංකාවට ඇවිත් රැකියා කරපු අය වගේ විශාල පිරිසක් ඒ අතර ඉන්නවා.
ලංකාවට පැමිණ වීසා නීති උල්ලංඝනය කරන පිරිස ගැන අපි වැඩි වශයෙන් සොයා බලනවා. මේ සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් සිටිනවා" යනුවෙනි.