වවුනියාව, හොරොව්පතාන ඒ 32 මාර්ගයේ කුඩිරිප්පු මංසන්ධිය අසලදි වයස අවුරුදු 9ක පාසල් දැරියක් මාර්ගයේ ගමන්ගත් ටිපර් රථයකට යටවි ඊයේ (06) සවස ජීවිතක්ෂයට පත්ව ඇති බවට වවුනියාව පොලීසිය පවසයි.
හොරොව්පතාන සිට කිලිනොච්චිය දක්වා ගමන්ගත් කළුගල් පැටවූ ලොරි රථයකට මෙම පාසල් දැරිය යට වීමෙන් මිය ගොස් ඇත්තේ වවුනියාව තිරුණාවකුලම් පදිංචි සුරේෂ් ප්රියාංගා (09) නැමති වවුනියාව සයිවප්රකාශ විද්‍යාලයේ 4වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවකි.
තම මව සමඟ කිසියම් කටයුත්තක් සඳහා නගරයට පැමිණ පාර මාරුවීමට උත්සාහ කිරිමේදී කළුගල් පැටවූ ටිපර් රථයට යටවී ඇති අතර එහිදී ටිපර් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට වවුනියාව පොලීසිය සැක පළ කර සිටියි.
අනතුරින් දැරිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වි ඇති අතර ප්‍රකෝපවූ ප්‍රදේශවාසීන් විසින් ටිපර් රථයට පහරදී අලාභ හානි සිදුකොට එහි රියදුරුටද පහරදීමට උත්සාහ දරා ඇත.
අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් තත්ත්වය පාලනය කොට ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (07) දින වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන වවුනියාව පොලීසිය වැඩිදුරටත් පවසයි.