අලි , මිනිස් ගැටලුවට ස්ථිර වශයෙන් විසඳුම් දෙන පාලනයක් අපි නිර්මාණය කරන බව ජාතික ජන බලවේගයේ ජනපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.
ඊයේ (23) වැල්ලවාය නගරයේ පැවති රැස්විමකට එක්වෙමිනි,
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අනුර කුමාර මහතා,
2015 රාජපක්ෂ පාලනය බිඳවට්ටලා රනිල් වික්‍රමසිංහගෙ පාලනයක් හැදුවා. දැන් අවුරුදු 5ක් රට පාලනය කරමින් තිබෙනවා. 2015 මහින්දගේ ආණ්ඩුව වැට්ටුවේ ඇයි? ජනතාව මත අධික බදුබර පැටෙව්වා. රුපියල් 350/- පොහොර මිටිය 500/- කළා. කෘෂි රක්ෂණ මණ්ඩලයට පාඩු කරලා ගොවි විශ්‍රාම වැටුප කපල දැම්මා. ඉඩම් ඩෝල් කොම්පැණියට වික්කා. කිරි පිටිවලට පෙට්‍රල්, ඩීසල්වලට ජනතාවට දරාගන්න බැරිතරම් අසීමිත බදු ගැහැව්වා. ප්රජාතන්ත්රවාදය නැති කළා. වංචා, දූෂණවල කෙළ පැමිණි ආණ්ඩුවක් බවට රාජපක්ෂ ආණ්ඩුව පත් වුණා. ඒ නිසා ජනතාව 2015 ඒ ආණ්ඩුව වට්ටලා අලුත් ආණ්ඩුවක් හැදුවා.
දැන් නැවතත් මොකද, වෙලා තිබෙන්නේ. අලුතෙන් හදපු ආණ්ඩුවත් දැන් ගෙදර යවන්න ඕනෑ කියලා කල්පනා කරනවා. ඔව්, මේක පරාජය කරන්න ඕනෑ. හැබැයි බලයට ගේන්න ඕනෑ කවුද? 2015 දී ජනතාව මේ රට විනාශ කළා කියල, හොරකම් කළා කියලා, බදුබර පැටෙව්වා කියලා, බඩුමිල වැඩිකළා කියලා, අපේ ඉඩම් පිටරට කොම්පැණිවලට වික්කයි කියලා, ගොවි විශ්‍රාම වැටුප අහෝසි කළා කියලා, ගෙදර යවපු රාජපක්ෂලාගේ පාලනයක්ද ආපහු හදන්න ඕනෑ. අපි ජනතාවගෙන් ඉල්ලනවා 2015 පිහිටවපු ආණ්ඩුව යළි පිහිටුවන්න එපා කියලා. 2015 දීපු කිසිම පොරොන්දුවක් ඉටුනොකළ රනිල්ගේ ආණ්ඩුව පරාජය කරමු. පරාජය කරලා ආපසු ගේන්නේ පරණ ආණ්ඩුවද? අපි ජනතාවට කියන්නේ මේ ආණ්ඩුව පරාජය කරල අලුත් ආණ්ඩුවක්, අලුත් පාලනයක් නොවැම්බර් 16 වැනිදා හදමු.
අපි කොහොමද මේ රට හදන්නේ. දැන් සාමාන්‍ය ජනතාවට දේශපාලනය එපා වෙලයි තියෙන්නේ. ගොඩක් අය කියන්නේ මට නම් දැන් දේශපාලනය තිත්ත වෙලයි තියෙන්නේ කියලා. ඔය කවුරු ආවත් එකයි. ඡන්දෙ කාලෙට කියන ඒවා නොවෙයි කරන්නේ. ඒ නිසා අපි වැඩ කළොත් අපි කයි, කියන දේශපාලනය ගැන කලකිරිල ඉන්න මිනිස්සු තමයි දැන් හුඟක් ඉන්නේ. මේ අර්බුද සියල්ල හැදුවේ දේශපාලනයෙන්. අපේ අධ්‍යාපනය, සෞඛ්‍යය සේවය, නීතියක්, විනයක් නැති රටක් හැදුවේ අපේ කෘෂිකර්මාන්තය විනාශ කළේ, මේ ආණ්ඩු තමයි.
හැබැයි මේ අර්බුදයෙන් ගොඩ ඒමේ උත්තරය තිබෙන්නෙත් දේශපාලනයේම තමයි. මොන දේශපාලනයෙන්ද? අර්බුදය හැදුවේ වැරදි දේශපාලනයෙන්. හොරකම් කරන, නාස්ති කරන, ඥාති සංග්‍රහ කරන, රට ගැන නොහිතන, දේශපාලනයෙන් තමයි මේ අර්බුද හැදුවේ. එහෙනම් ගොඩයන්න කරන්න ඕන මොකක්ද? නිවැරදි දේශපාලනය, හොරකම් නොකරන, රටට ආදරය කරන දේශපාලනය, නොවැම්බර් 16 අපි මේ වැරදි දේශපාලනයෙන් මිදෙමු.
රට හැදීමේ පළමු පියවර මේ අශුද්ධ දේශපාලන පොරපිටිය ශුද්ධ කිරීමයි. එක පැත්තකින් ඡන්ද ගන්නවා. අනෙක් පැත්තට පනිනවා. අපිට බලය දෙන්න. අපි නීතියක් හදනවා එහෙට මෙහෙට පැන්නොත් මන්ත්‍රී ධුරය අහෝසි වන විධියට. මේ පනින්නෙ කෝටි ගණන් සල්ලි කුට්ටිවලට. අර කුමන්ත්‍රණය වෙලාවේ මෛත්‍රී ජනාධිපතිවරයාම කිව්වා අපිට 113 හදාගන්න තිබුණ. මන්ත්‍රීවරුන්ගේ මිල වැඩි නිසා ඒක අමාරු වුණා කියලා. එක මන්ත්‍රීවරයෙකුගේ මිල කෝටි 500 දක්වා නැග්ගා කියලා එතුමා කිව්වා. අපි මේක නතර කරන නීති ගේනවා.
ඊළඟ කාරණය මන්ත්‍රීවරු අවුරුදු 5ක් පාර්ලිමේන්තු ගියහම, පහක් කිව්වාට පහම යන්න ඕනෙත් නැහැ. මාස 3කට එක දවසක් පාර්ලිමේන්තුවට ගියාම ඇති. අවුරුද්දට හතර පාරයි අවුරුදු පහට විසිපාරයි. පාර්ලිමේන්තුවේ දොරෙන් ඇතුල්වෙලා එළියට ආවහම ඇති. ඒ විසිපාරට ෆෙන්ෂන් එක ලැබෙනවා. ඒක කපාහරින පාලනයක් අපි හදනවා. අයවැය කියවන දවසට මැති ඇමතියෝ රොත්තම පුටුවලම නිදි. පාර්ලිමේන්තුවට එන්නේ ගෙදර ඉන්න ඕන අය. ලෙඩ කඳන්. අපේ පාර්ලිමේන්තුවේ ඉන්නවා වයස 84 දේශපාලනඥයොත්. ඒ ගොල්ලන්ට කවුරු හරි කනවැල අල්ලන්න ඕන. පාර්ලිමේන්තුවට එන්න, මැරෙන කල් දේශපාලනය කරන්න ඕන කෙනෙකුට පුළුවන්. හැබැයි අපි මැරෙන කල් මන්ත්රීකම් නම් කරන්න දෙන්නේ නැහැ. අපි බලයට ආවොත් අවුරුදු 70ට වැඩි කිසිකෙනෙකුට ඡන්දය ඉල්ලන්න බැරිවෙන ආකාරයට නීතියක් දානවා.
අද ඔබලා මුහුණදෙන තවත් බරපතළ ප්‍රශ්නයක් තමයි අලි ප්රශ්නය. 2017 දී අලිගහලා 92ක් මැරිලා තිබෙනවා. විශාල ප්‍රමාණයක් සදාකාලික අබ්බගාතයෝ වෙලා. නිවාස විශාල ප්‍රමාණයක් විනාශවෙලා. වගාබිම් විශාල ප්‍රමාණයක් හානිවෙලා. මේ ආණ්ඩුවලට අලි ප්රශ්නයටවත් උත්තර නැහැ. එක පැත්තක අක්‍රමවත් සංවර්ධනය. කැලෑ අක්කර දහස් ගණන් එළි කළා. ඒවායේ හිටපු අලි ගම් වදින්න පටන් ගත්තා. උන්ව පාලනය කරන්න සැලැස්මක් හැදුවේ නැහැ.
දැනට තිබෙන හොඳම විසඳුම විදුලි වැට. ආණ්ඩුව කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරනවා වෙන ඒවාට. නෙළුම් කුලුන හදන්න බිලියන 24යි. කෝටි 2,400යි. ලංකාවේ අලි ඉන්න කැලෑ සහ ගම්මාන වෙන්කරලා විදුලි වැටවල් ගහන්න එච්චර සල්ලි යනවාද? සූරියවැව පිට්ටනියට දශලක්ෂ 5000යි. ලංකාවෙම අලි ප්රශ්නය විසඳන්න තිබුණා මේ සල්ලිවලින්. ඒවා නොකර ක්‍රිකට් ගහන්නේ නැති පිට්ටනි හැදුවා. අලි , මිනිස් ගැටලුවට ස්ථිර වශයෙන් විසඳුම් දෙන පාලනයක් අපි හදනවා. මේ ගැටලු විසඳන්න පුළුවන් අපේ පාලනයක් යටතේ පමණයි කියලා, අපි සහතික කරලා කියනවා. ඒක කරන්න අපිට බලය ලබාදෙන්න. අපි තමුන්නාන්සේලාගෙන් ඉල්ලන්නේ එපමණයි.
කෂිනි හපුආරච්චි