කුලියාපිටිය මුලික රෝහලේ රසායනාගාර ටෙන්ඩරය ලබාදීම සඳහා එම රෝහල ඉදිරිපිට ඇති වෛද්‍ය රසායනාගාරයේ හිමිකරුගෙන් මාස්පතා අල්ලස් ඉල්ලා ඉන් රුපියල් 75,000/-ක අල්ලසක් ලබාගත් බවට චෝදනා ලැබ සිටින කුලියාපිටිය මහ රෝහලේ හිටපු විශේඥ වෛද්‍යවරයා කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට දෙවැනි ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (22) නියම කළේය.
විත්තිකාර විශේෂඥ වෛද්‍යවරයාට එරෙහි අධිචෝදනා පත්‍රය භාරදීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05 බැගින් වන ඇපකරුවන් දෙදෙනෙකු බැගින් වන ශරීර ඇප මත ඔහු මුදාහැරීමට විනිසුරු මඩුල්ල නියම කළේය.
මෙම ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ල ලෙස කොළඹ වාණිජ මහාධිකරණයේ කටයුතු කරන ආර්. ගුරුසිංහ, කොළඹ මහාධිකරණයේ කටයුතු කරන ශෂි මහේන්ද්‍රන් සහ මීගමුව මහාධිකරණයේ කටයුතු කරන අමල් රණරාජා යන මහතවරුන් කටයුතු කරයි.
2016 ජුනි මස පළමුවැනිදාත් අගෝස්තු මස 31 වැනිදාත් අතර කාලයේ කුලියාපිටිය මුලික රෝහලේ විශේඥ වෛද්‍යවරයකු ලෙස සේවය කරමින් සිටියදී එම රෝහලේ රසායනාගාර ටෙන්ඩරය ‘සත්සුව රසායනාගාර’යට ලබාදීම සඳහා එම රසායනාගාරයේ හිමිකරු වන අතුල රත්නසිරි මහතාගෙන් මාස්පතා රුපියල් 25,000 බැගින් අල්ලස් ඉල්ලා ඉන් රුපියල් නිරෝෂන් නිකුලස් නමැත්තා මඟින් රුපියල් 75,000/-ක අල්ලසක් ලබා ගත් බවට විත්තිකාර විශේඥ වෛද්‍යවරයාට එරෙහිව අල්ලස් කොමිසම විසින් චෝදනා නඟා ඇත.
විත්තිකාර විශේඥ වෛද්‍යවරයාට එරෙහි නඩුවේදී නඩු භාණ්ඩ හා ලේඛණ 28ක් ඉදිරිපත් කරන බවද පැමිණිල්ල වෙනුවෙන් සාක්කිදීම සඳහා කුලියාපිටිය මුලික රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා සහ වෛද්‍යවරුන් ඇතුළු සාක්කිකරුවන් 25 දෙනෙකු කැඳවීමට අපේක්ෂා කරන බව අල්ලස් කොමිසම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලට දැනුම් දුන්නේය.
නඩු ප්‍රමාදවීම් මඟහැරවීමේ අරමුණින් පිහිටවනු ලැබු දෙවැනි ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ප්‍රථම නඩුව වශයෙන් පවරා ඇති මෙම නඩුවේ විත්තිකරු වන කුලියාපිටිය මුලික රෝහලේ විශේඥ වෛද්‍යවරයකු ලෙස කටයුතු කළ විශේඥ වෛද්‍ය චන්ද්‍රසිරි තෙන්නකෝන්වෙල මහතා අධිකරණයෙන් නිකුත් කොට තිබු සිතාසියට අනුව මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටියේය.
ඒ අවස්ථාවේදී අධිකරණයේ නියෝග මත විත්තිකරුට එරෙහි අධිචෝදනා පත්‍රය විවෘත අධිකරණයේදී විත්තිකරුට භාරදුන්නේය.
මෙම පැමිණිල්ල ලබන 27 වැනිදා යළි කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල එදින අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකරුට නියම කළේය.