ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට නව පක්ෂ හා කණ්ඩායම්වලට එක්විය හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, හොරොව්පතාන ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරී හමුව අමතමින්ය.
“අපි පහුගිය මැතිවරණයේදී තීන්දුවක් ගන්නවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව ජයග්‍රහණය කරවන්න.ඒ නිසා අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සමඟ අත්වැල් බැඳගත්තා, අපි ගිවිසුම් අත්සන් කළා, අපි කතිරය ගැහුවා, රැස්වීම් තිබ්බා, අපි කතිරය ගහපු නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඡන්ද ලක්ෂ 69 ක් ලබා ගෙන ජයග්‍රහණය කළා.
ඉතිහාසය මතක් කර ගත්තොත් පොදු ජන පෙරමුණට ඡන්ද ලක්ෂ 50 ක් තිබුණා, අපි ගාව තිබුණා ඡන්ද ලක්ෂ 17 ක්, අපිත් එකතු වුණ නිසා තවත් අයත් එකතු වෙලා අර ඡන්ද ලක්ෂ 50 ඡන්ද ලක්ෂ 69 ක් බවට පත් වුණා.
හැබැයි පහුගිය දවස් වල රූපවාහිනිය බලනකොට නම් අපි සියඹලා ගෙනල්ලාම නැද්ද කියලත් හිතුනා. අපිට අවශ්‍යය කරන්නේ ගෞරවය හෝ පංගුව නෙමෙයි. අපිට අවශ්‍යය කරන්නේ මේ රට වෙනස් කරන්න. ගෝඨාභය මහත්තයාව ජයග්‍රහණය කළේ කවුරුන්ද කියලා අපි දන්නවා.
අපි එතුමාව ජනාධිපති කළා වගේම, එතුමට රට වෙනස් කරන්න අපි එතුමාට ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදලා දෙන්න ඕන. ශක්තිමත් පාර්ලිමේන්තුවක් කියන්නේ කඳ බඩ තියෙන, උස මහත ටිකක් පාර්ලිමේන්තු යවන එක නෙමෙයි.අපේ සන්ධානයෙන් 113 ක් මන්ත්‍රීවරුන් හදා ගන්න ඕනකම තියෙනවා.එය වඩා ශක්තිමත් වෙන්න නම් 2/3 ක බලයක් සහිත පාර්ලිමේන්තුවක් හදන්න ඕන.
දැන් මේ රටේ තියෙන්න පුළුවන් කණ්ඩායම් දෙකයි, එකක් ගෝඨාභය මහත්තයා එක්ක රට හදන කඳවුර, ඒක තවත් පුළුල් වුණා, සියලු වමේ පක්ෂ, සියලු ප්රගතිශීලීන් එකට එකතු වුණා. ඒක දැන් සන්ධානයක් වුණා. රට හදන කණ්ඩායමට නිළ වශයෙන් පක්ෂ රාශියක් අත්සන් කරලා තියෙනවා, මේ සන්ධානය ලියාපදිංචි කළාට පස්සේ ඉදිරියටත් පුළුවන්කම තියෙනවා රට හදන්න, රටට ආදරය කරන කණ්ඩායම්, පක්ෂ අලුත් සන්ධානය සමඟ එකතු වෙන්න කැමති නම් ඒ අයටත් අපේ අලුත් සන්ධානය තුළ දොර විවෘත කරලා තියෙනවා.”
තිසර සමල්