අලුත උපන් තම බිළිඳුු දරුවා මරණයට පත් වුණේ වඳ සැත්කම් සිද්ධීන් සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින වෛද්‍ය ෂාෆි ෂියාබ්දීන් ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසින් නොසැලකිලිමත් ලෙස කරන ලද සිසේරියන් සැත්කමක් හේතුවෙන් බව කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මියගිය බිළිඳු දරුවාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක් කිරීම සඳහා මස 28 දින ගොඩ ගැනීමට කටයුතු කරන ලෙස කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා අද (26) නියම කළේය.
තම බිළිඳු දරුවාගේ මරණය සැකසහිත බවට කුරුණෑගල වැල්ලව රිකිල්ලගමුවේ පදිංචි කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් කුරුණෑගල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගෙන මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.
ඒ අනුව කුරුණෑගල නාගරික සුසාන භූමියේ වළ දමා ඇති බිළිඳු මළ සිරුර කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා සහ කුරුණෑගල අධිකරණ වෛද්‍යවරයා ඉදිරියේ එදින ගොඩ ගැනීමට නියමිතය.
කුරුණෑගල ශික්ෂණ රෝහලේදී මවුවරුන් පිරිසකට සැත්කම් සිදු කිරීම සහ අසීමිත ලෙස වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරවේද වෛද්‍ය ඒකකයේ හිටපු ජ්‍යෙෂ්ඨ වෛද්‍ය ෂාෆි ෂියාබ්දීන් මහතාට එරෙහිව පවරා ඇති නඩුව අද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගනු ලැබීය. මෙම නඩුවේ වැඩිදුරට විභාගය 2020.12.11 වන දිනට කල් තබනු ලැබීය.