අන්තර්ජාල වෙළදාම (online) විධිමත්ව සිදු කිරීමට අවශ්‍ය නීති රාමු සකස් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සකස් කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, වාණිජ දෙපාර්තමේන්තුව සහ පුද්ගලික අංශයේ මෙම විෂය පිළිබද දැනුම සහිත කණ්ඩායම් සමග සාකච්ඡා කරමින් සිටින බවත් වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (20දා) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් - ඔන්ලයින් හරහා භාණ්ඩ ආනයනය කරද්දි ඒකට බදු අයකිරීමක් සිදු වෙන්නේ නෑ. නමුත් අපේ රටේ නිෂ්පාදකයෙන් නිෂ්පාදනය කරද්දි ඒකට විවිධ ආකාරයේ බදු අය වෙනවා. පාරිභෝගිකයන්ට හානියක් නොවන්න, නමුත් අපේ රටේ නිෂ්පාදන ආරක්ෂා කර ගැනීමේ පරමාර්තයෙන් ඒ සදහා යම්කිසි බදු ක්‍රමයක් හදුන්වා දීමට ඔබතුමාගේ අවධානය යොමු වෙනවාද?
වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන - අපි බලාපොරොත්තුවෙනවා අර වැඩසටහන සකස් කරන විද්වත් කමිටුව විසින් ඒ බදුකරන ක්‍රියාවලියත් සලකා බලනවා.