ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට සුඛෝපභෝගී බස් රථ 2000ක් ලබා ගැනීම වෙනුවෙන් තමන් ආරම්භ කර ඇති වැඩසටහනට මුදල් අමාත්‍යාංශ නිලධාරීන් බාධා එල්ල කරන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
අද (14දා) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“මාස එක හමාරක් තිස්සේ මම ලංගමට බස් 2000ක් ගේන්න මම කැබිනට් මණ්ඩලයේ දගලනවා. නමුත් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මේ ගැන කැක්කුමක් නෑ.
අපේ රටේ මිනිස්සු ලොරි චැසිවල ගියාට ඒ අයට කමක් නෑ ඒ අය සුඛෝපභෝගී වාහන වල යනවා. මෙතන තමයි අපිට ප්‍රශ්නේ තිබෙන්නේ. මේ නිලධාරීන්ගෙන් අපිට ලොකු ප්‍රශ්නයක් තිබෙනවා.
පෞද්ගලික බස් මාෆියාවට මේ නිලධාරීන් යටවෙලා ඉන්නවා. ඒ අයට මොනවා හරි හම්බවෙනවා ඇති. මේ ලංගම දියුණු කරන්න අපේ මිනිස්සුන්ට සැපපහසුවට යන්න ක්‍රමයක් මම මාස දෙකක් තිස්සේ බලනවා.
මමත් මේක තව ටිකක් කල් බලනවා. මේවා වෙන්නේ නැත්නම් මේ රටට අපිත් මේ දේශපාලනයේ ඉන්නවද කියලා තේරුම් ගන්න ඕන.
අපි අලුත් බස් නමයක් ගෙනාවා. ඒ බස් නමයට පුදුම ඉල්ලුමක් තිබෙනවා. අද මිනිස්සුන්ට අවශ්‍ය වෙන්නේ පෞද්ගලික වාහනවල යන්න නෙමෙයි. හොඳ බස් හොඳ දුම්රිය සේවාවක් දුන්නොත් අපේ අය ඒකට යන්න කැමතියි.
මාස එක හමාරක් තිස්සේ මම කටයුතු කරනවා. අපි රජයේ මුදල් ඉල්ලන්නේ නෑ. අපිට ආයෝජකයෙක් ගෙන්න දෙන්නෙත් නෑ. හුඟ දෙනෙක් දේශපාලඥයින්ට බැන්නට අපිට නිලධාරින්ගේ විශාල ප්‍රශ්න ගොඩක් තිබෙනවා.
මම ජනපතිතුමාටත් අගමැතිතුමාටත් මේ ගැන කිව්වා. තව සතියක් දෙකක් අපි බලමුකෝ. මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ගැන මගේ ලොකු පැහැදීමක් නෑ. මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගේ වාහන අයින් කරලා බස්වල කෝච්චිවල යවන්න ඕන. එතකොට තේරෙයි.”