පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති අධික වැසි හා ඉහළ ජලාශවල වාන් දොරටු විවෘත කිරීමෙන් ඇතිව තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් මේ වනවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4ක පවුල් 78ක පුද්ගලයින් 264කට බලපෑම් එල්ල වි ඇතැයි පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
අධික වැසි හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 20 000ක පමණ පැළ ගොයම ජලයෙන් යටවි ඇති බව ද ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ උපුල් නානායක්කාර මහතා පවසයි.
පූර්ණ හානියට පත් නිවාස එකක් හා අර්ධ හානියට පත් නිවාස 4ක් වාර්තා වන බවත් ව්‍යාපාරික ස්ථාන එකක් ද ජලයෙන් යටවි ආපදාවට ලක්ව ඇති බවත් එක් අයෙකු නිවසේ බිත්තියක් කඩා වැටීමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් වැඩිදුරටත් පැවසීය.
පවතින අධික වැසි හා සුළු ගංවතුර තත්ත්වය හේතුවෙන් දිඹුලාගල, ලංකාපුර ,තමන්කඩුව හා හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව මෙසේ බලපෑමට ලක්ව සිටිති. වැලිකන්ද හා මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ද ආපදා බලපෑම් පිළිබදව වාර්තා වෙමින් පවතින බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
උල්හිටිය රත්කිද ජලාශවල වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් හා මහවැලි ගගේ ජල මට්ටම මේ වනවිට මීටර් 3.14ක් දක්වා ඉහළ නැග ඇත. මේ හේතුවෙන් පොළොන්නරුව සුංගාවිල සෝමාවතිය මාර්ගයේ ස්ථාන කිහිපයක්ම අඩි 3ක් පමණ ජලයෙන් යටවී තිබෙන බව ද හෙතෙම පැවසීය.
මීට අමතරව පවුල් 61කට අයත් පුද්ගලයින් 209ක් ඥාති නිවෙස්වල තාවකාලිකව රැදී සිටින බව ද හෙතෙම පැවසීය.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජලාශවල ජල මට්ටමද ශිඝ්‍රයෙන් ඉහළ යන බව වාරිමාර්ග බලධාරිහු පවසති.
පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම මේ වනවිට අක්කර අඩි 88,000ක් පමණ වන බවත් මින්නේරිය ,ගිරිතලේ හා කවුඩුල්ල ජලාශවල ජල මට්ටමද ඉහළ යමින් පවතින බවත් ඔවුහු පවසති.