පාර්ලිමේන්තුවේදී අද (05දා) සවස සිදුකෙරෙන අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම ජය ගැනීමට ආණ්ඩු පක්ෂයට වැඩි ඉඩකඩක් ඇතැයි වාර්තා වෙයි.
එක්සත් ජාතික පෙරමුණ සමග එක්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සිවුදෙනා සහ ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් 15 දෙනෙකු අයවැයට පක්ෂව ඡන්දය ලබාදීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මේ වනවිට ඒකාබද්ධ විපක්ෂය සමග එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් 77 දෙනා සහ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරුන් 06 දෙනා අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 18 දෙනා අතරින් කිහිප දෙනෙකු පමණක් අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමටත්, ඉතිරි පිරිස ඡන්දය විමසන අවස්ථාවේදී සභාවෙන් පිටව යෑමටත් තීරණය කර ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් අයවැයට ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳව ඊයේ (04දා) සවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී කණ්ඩායම හා එක්සත් ජනතා නිදහස් සන්ධානය අතර සාකච්ඡාවක් පැවැති අතර එහිදී ශ්‍රීලනිප මෛත්‍රී කණ්ඩායම ප්‍රකාශ කර ඇත්තේ අදාළ තීරණය අද (05දා) දිනයේදී ලබාදෙන බවයි.