ඉන්දියාවේ නවදිල්ලි නුවර නුපුහුණු ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන් ලෙස කිසිදු අමතර ගෙවීමකින් තොරව එරට ගුරුවරුන් යොදා ගන්නා බව නවදිල්ලියේ ගුරු සංගම් පවසයි.
ඔන්ලයින් ක්‍රමයට තම පාසලේ දරුවන්ට පාඩම් මාලාවන් ලබාදීමෙන් පසුව ඔවුන්ට දෙවැනි රාජකාරිය ලෙස කොවිඩ් නුපුහුණු සෞඛ්‍ය සේවක භූමිකාවකද නිරතවිය යුතුය.
නවදිල්ලියේ අනෙකුත් රජයේ ගුරුවරුන් දහස් ගණනක් මෙන් විකාස් කුමාර් නමැති ගුරුවරයා, පසුගිය මාර්තු මාසයේදී ඉන්දියාවේ වෛරසය පැතිරීම ආරම්භ වනවිටම වසංගතයේ පෙරමුණට යොමුකර තිබුණි.
ඒ අනුව ජුනි මාසයේ සිට කුමාර් සිය ඉගැන්වීමේ රාජකාරියට අමතරව, භූමිකාවන් ගණනාවක් පුරවා ඇත. පළමුවෙන්ම ඔහු කියා සිටියේ තමා දුප්පතුන්ට සලාක කට්ටල බෙදා දුන් බවය. පසුව තහවුරු කරන ලද කොවිඩ්-19 රෝගීන්ගේ ආශ්‍රිතයන් පිළිබඳ ගෙයින් ගෙට සමීක්ෂණ පැවැත්වීමට තමාට පැවරූ බවත්ය. නිවැසියන්ගේ උෂ්ණත්වය සැලකිල්ලට ගත් එම භූමිකාවේදී කුමාර් පවසන්නේ තමාට වෛරසය වැලඳීම නිසා ජූලි මාසයේදී දින 17ක් රෝගාතුරව සිටි බවය.
නවදිල්ලියේ ගුරු සංගම් දෙකකට අනුව 2020 දී අවම වශයෙන් ගුරුවරුන් 28,000ක් කොවිඩ්-19 භූමිකාවන් සඳහා යොදවා තිබුණි. වසංගතයෙන් කොවිඩ්-19 ආසාදිතව ගුරුවරුන් 35 දෙනෙකු මියගොස් ඇති අතර, තවත් සිය ගණනක් රෝගාතුර වූ බව ඔවුහු පැවසූහ. මෙම සංඛ්‍යා තහවුරු කිරීම සඳහා දිල්ලි සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත් වී නොතිබුණි.
ඉන්දීය අගනුවර ගුරුවරුන් කිහිප දෙනෙකු පවසා තිබුණේ ඔවුන්ට මේ සඳහා පුහුණුවක් ලබා දී නොමැති බවත් ඔවුන්ගේ සාමාන්‍ය ඉගැන්වීමේ කාර්යභාරය සමග ඔවුන් මෙසේ කොරෝනා වෛරස ඉදිරිපෙළ රාජකාරියේ යෙදෙන බවත්ය. එහිදී ඔවුන් ඇතමෙකුට වෛරසයෙන් ආරක්ෂා වීමට සැලකිය යුතු පුද්ගලික ආරක්ෂක කට්ටලයක් (PPE) පවා ලබාදී නොමැති බවද කියයි.
ඉන්දියාවේ මේ වනවිට ලොව දෙවැනි වැඩිම ආසාදිතයන් සිටින රට ලෙස කොවිඩ්-19 ආසාදිතයන් 10,557,985 දෙනෙකු වාර්තා වන අතර, තෙවැනි වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට ලෙස මරණ 152,274ක් වාර්තා වෙයි.
කෙසේ වෙතත් පසුගිය සෙනසුරාදා දිනයේ සිට ඉන්දියාව රට පුරා එන්නත්කරණ වැඩසටහනක් අරඹමින් ඉන්දියාවේ ප්‍රජා ප්‍රතිශක්තීකරණයක් ලබාගැනීමේ උත්සාහයක නිරත වෙයි.