ජපානයෙන් වාහන අමතර කොටස් ගෙන්වන මුවාවෙන් ඒ අතර සඟවා වාහන මෙරටට ගෙන්වා රේගු නිලධාරින් සහ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ සහාය ලබාගෙන ඒවා ලියා පදිංචි කර විකිණීමේ ජාවාරමක් මෙහෙයවූ සංවිධානාත්මක කණ්ඩායමක ප්‍රධාන සැකකරු හා තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ අපරාධ කොට්ඨාසය කියයි.
එලෙස ගෙන් වා තිබූ කෝටි දහයකට ආසන්න වටිනා සුඛෝපභෝගී ප්‍රාඩෝ ජීප් රථයක් ,සුඛෝපභෝගී මෝටර් රථයක් ,දොඹකරයක් ,හා ආපදා රථ දෙකක් ගම්පහ මිරිස්වත්ත කිණිගම ප්‍රදේශයේ වාහන අංගනයක සඟවා තිබියදී පොලිස් භාරයට ගත් බව පොලිස් නිලධාරි පැවසීය.
ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ පුද්ගලයෙක් ජපානයෙන් වාහන අමතර කොටස් ගෙන්වන මුවාවෙන් ඒ අතර සඟවා වාහන ගෙන්නන බවට පෑලියගොඩ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් අනුව සති දෙකකට අධික කාලයක් ඒ පිළිබඳව විමර්ශන සිදුකර වැටලීම කර සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පොලිස් භාරයට ගත් ප්‍රාඩෝ ජීප් රථය රේගු නිලධාරීන් මගින් පිටකර කිසිදු ලිපි ලේඛනයක් නොමැතිව මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කීප දෙනකුගේ සහාය මත ලියාපදිංචි කර තිබූ බව මූලික විමර්ශනවලදී අනාවරණ වූ බව පොලිසිය කියයි.
එහි තිබී පොලිස් භාරයට ගත් මෝටර් රථය . දොඹකරය හා ආපදා රථ 2 ඒ ආකාරයෙන්ම රේගුවෙන් පිටකර අනතුරුවලට ලක්ව ධාවනයෙන් ඉවත් කරන ලද වාහන මිලදී ගෙන ඒවායෙහි චැසිය එම වාහන වලට බද්ධ කර එන්ජින් අංක ව්‍යාජ ලෙස සකස් කර එම වාහන සකසා තිබූ බව පොලීසිය පවසයි.
මෙම මහා පරිමාණ ජාවාරම වසර දහයක පමණ කාලයක සිට ඉතා සූක්ෂම ලෙස සිදුකර ඇති අතර රජයට රුපියල් කෝටි ගණන් ආදායමක් අහිමි වී ඇති බව මේ වන විට සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇතැයි පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයකු ජපානයේ සිට මෙම වාහන ජාවාරම සඳහා වාහන සපයන අතර ඔහු මාස දෙකකට වරක් මෙරට පැමිණෙන පුද්ගලයකු බව පොලිසිය කියයි.
කූඨ ලෙස රේගුවෙන් පිටකරන වාහන වල චැසි සහ එන්ජින් අංක ව්‍යාජ ලෙස කොටන ලද උඩුගම්පල පදිංචි පුද්ගලයාද අත්අඩංගුවට පත්වූ පුද්ගලයන් දෙදෙනා අතර වන බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන වාහන අංගනයේ හිමිකරු පසුගිය වසර 10 තුළ මේ ආකාරයෙන් කූට අයුරින් ලිපි ලේඛන සකස් කර විකුණු වාහන පිළිබඳ සොයා බලන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.