ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා ගොස් සේවා ස්ථානයේදී සිදුවන අනතුරක් හේතුවෙන් පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වූ නිවසක් නොමැති ශ්‍රමිකයින් සඳහා නිවසක් සාදා ගැනීමට කාර්යාංශය මගින් “සහන නිවාස” වැඩසටහන යටතේ රුපියල් මිලියනයක මුදලක් ලබා දෙනු ලැබේ.
මෙම වැඩසටහන කාර්යාංශය හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය එක්ව ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමට අද (22දා) ජාතික නිවාස සංවර්ධන අධිකාරියේදී අත්සන් තබන ලදී. මේ සඳහා කාර්යාංශය වෙනුවෙන් එහි සභාපති ඒ.ඒ.එම්.හිල්මි මහතා හා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතා අත්සන් කර ඇත.
වසර 5ක කාලසීමාවක් සඳහා වලංගුව පවතින මෙම ගිවිසුම අනුව ව්‍යාපෘතියේ සියළු අධික්ෂණ කටයුතු ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් සිදුකිරීමට නියමිතය.
රුපියල් ලක්ෂ 10ක මෙම ආධාර මුදල සම්පූර්ණයෙන්ම කාර්යාංශය මගින් ලබාදෙනු ලබන අතර, වාරික 6කින් මෙම මුදල ගෙවා අවසන් කරනු ලැබේ. මෙම නිවාස ආධාර මුදල් ලබාගැනීම සඳහා ශ්‍රමිකයා විදේශ ගතවීමේදී කාර්යාංශයේ ලියාපදිංචිය ලබා තිබිම අනිවාර්ය වේ. දැනටමත් නිවසක් හිමි අයෙකු නම් ආබාධිත පුද්ගලයෙකුට සරිලන පරිදි එය නවීකරණය කිරීමට මෙමගින් හැකියාව ලැබේ.