අපි වෛරක්කාරි කුහක දේශපාලනයෙන් මිදිලා කටයුතු නොකළොත් රටක් ලෙස අපිට ගොඩ යන්න බැරි බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය.
අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ මාතලේ නව මහාධිකරණය විවෘත කිරීමේ අවස්ථාවට අද (5) පෙරවරුවේ එක්වෙමිනි
එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරිය ,
“මුල ඉදලාම මේ අධිකරණය ස්ථාපිත කිරීමේදී දේශපාලන බලපෑම් තිබුණා.මහාධිකරණයක් නැති ලංකාවේ එකම දිස්ත්‍රික්කය මාතලේ දිස්ත්‍රික්කයයි. මහාධිකරණයක් නොමැති නිසාම ලග්ගල හෙට්ටිපොල වැනි ප්‍රදේශවල ජනතාව කිලෝමීටර් 150 කටත් වැඩිය දුරක් ගෙවා ගෙන නුවරට යන්න සිදු වුණා. දැන් ලග්ගල මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදි කිරීම් අවසන් වෙමින් තිබෙනවා. රජයක් ලෙස අපි අධිකරණයේ ස්වාධීනත්වය ඇති කරන්න කැප වෙලා ඉන්නවා. ජනතා අවශ්‍යතා වෙනුවෙන් අපි හැම විටම කැප වෙලා ඉන්නවා. සමහර විට අපි ගන්න තීරණ ජනප්‍රිය නැතිව ඇති. නමුත් අපි ජනතා අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරනවා.
අද සමහර විට මේ අධිකරණය මේ විදිහට ස්ථාපිත කරනවා කියලා මාතලේ ජනතාවගෙන් හතරෙන් එකක්වත් දන්නේ නැතිව ඇති. අධිකරණයේ ස්වාධීනත්වය අවශ්‍ය වෙන්නේ බලය තියෙන කොටයි. අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් අපි ගොඩාක් දේවල් කළා. අපි අධිකරණයයට තිබුණු බලපෑම් ඉවත් කරන්න පියවර රාශියක් ගත්තා. අපි කළ දේවල් නිසා විනිසුරුතුමන්ලාට මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවටත් ස්වාධීන තීන්දු තීරණ ගන්න පුළුවන් වුණා. හෙට අනිද්දා වෙන කොට හිතපු නැති පනත් දෙක තුනක වෙනස්වීම් සිදු කරනවා. ජනතාව මේ මහාධිකරණ කටයුතු වැනි දේවල් නොදන්න නිසා මෙන්ම තවත් විවිධ හේතු නිසා උසාවිවල රස්තියාදු වෙනවා. බන්ධනාගාරවලට ගිහිල්ලා බලපුවහම පේනවා අනවශ්‍ය ප්‍රමාද ඇති වෙලා තියෙනවා කියලා.
අද හත් ලක්ෂ පනස් දහසක් නඩු අධිකරණවල ගොඩ ගැහිලා තියෙනවා. නඩු කටයුතුවලට පටලැවිලා ඉන්න ජනතාව ඉන්නේ ගොඩාක් දුකින් සහ කණස්සල්ලෙන් බව කිව යුතුයි. නඩු කියනවාට වඩා හොදයි වෙනත් දෙයක් කර ගෙන ඉන්නවා කියලා ජනතාව අද හිතනවා. බන්ධනාගාර ගත වුණහම ඇතැම් අය එළියට එන්නේ වැරදිකාරයෙක් විදිහට. මේ මාතලේ මහාධිකරණය පිහිටුවන කොට විවිධ බාධා ආවා. බලපෑම් ආවා.
අපි වෛරක්කාරී කුහක දේශපාලනයෙන් මිදිලා කටයුතු නොකළොත් රටක් ලෙස අපිට ගොඩ යන්න බැහැ. අපිට මේ කටයුත්තේදී විවිධ බාධා ආවා. ඒවා අපි ජයගත්තා. මම මේ ක්ෂේත්රයේ සිටියත් නැතත් මේ භූමිය ආරක්ෂා කරගන්න කියලා මම නීතිඥ සංගමය ඇතුළු සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා” යැයි අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.