"අපි කරන්න ආපු දේ අපි කළා. ඒ වගේම තවත් බොහෝ දේ කළා" ජනාධිපති ධුරයෙන් ඉවත්ව යන ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සිය සමුගැනීමේ දේශනය සිදුකරමින් පවසා තිබේ.
යූ ටියුබ් හි පළ කරන ලද වීඩියෝවක ඔහු කියා සිටියේ "දැඩි සටන්, ඉතා අසීරු අරගල වෙනුවෙන් තමයි, ඔබලා මාව පත්කර ගත්තේ" යනුවෙනි.
පසුගිය නොවැම්බරයේ පැවති මැතිවරණයේ ප්රතිඵලය ට්රම්ප් තවමත් සම්පූර්ණයෙන් පිළිගෙන නැති බව ඔහුගේ ප්රකාශයන්ගෙන් පිළිබිඹු විය. කෙසේ වෙතත් බලය කෙසේ හෝ රැකගැනීමට ගත් සියලු ප්රයත්නයන් හමුවේ ට්රම්ප් දැන් පසුබැස ඇත. ඒ අනුව ජෝ බයිඩන් අද දිනයේ එරට නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිතය.
ට්රම්ප්ගේ ධුර කාලය අවසන් සති දෙක තුළ කැපිටල් ගොඩනැගිල්ලේ ඔහුගේ ආධාරකරුවන් කොංග්රසයට පහරදෙමින් මැතිවරණය ප්රතිඵලය උදුරා ගැනීමට සිදුකළ මාරාන්තික කෝලාහලයෙන් සියලු සටන් අවසන් විය. කෙසේ වෙතත් ඔහු සිය අවසන් කතාවේ කියන්නේ මීට හාත්පසින්ම වෙනස් දෙයකි.
"දේශපාලන ප්රචණ්ඩත්වය යනු ඇමරිකානුවන් ලෙස අප අගය කරන සෑම දෙයකටම පහරදීමක්. එය කිසි විටෙකත් දරාගත නොහැකියි" ට්රම්ප් කියයි.
එමෙන්ම ඔහු මෙම වීඩියෝවෙන් නව රජයට සුභාශිංසන එක්කර තිබුණත්, නව ජනාධිපතිවරයා ලෙස තේරීපත් ජෝ බයිඩන්ගේ නමවත් සඳහන් නොකිරීමද විශේෂත්වයකි.