මොහොතින් මොහොත වෙනස් වන දැනුම සමග නිරන්තරව යාවත්කාලීන වෙමින්, නව ලොවට පිවිසෙන පුළුල් ඉඩහසර ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ට ද ලබාදීම යුගයේ අවශ්‍යතාවක් ලෙස හඳුනාගනිමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මෙහෙයවීමෙන් ටැබ් පරිගණක පාසල් පද්ධතියට හඳුන්වාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට සියලු විධිවිධාන යොදා තිබේ.
මෙම වැඩපිළිවෙළෙහි පළමු අදියර යටතේ සියලු ජාතික පාසල්වල උසස් පෙළ සිසුන්ට හා උසස් පෙළ ඉගැන්වීම් කටයුතුවල යෙදෙන ගුරුවරුන් වෙත ටැබ් ලබාදීම සිදු කෙරෙන අතර, ඉදිරියේ දී අධ්‍යාපන පද්ධතිය තුළ සිටින සියලු පාසල් දරුවන්ට සහ සියලු ගුරුවරුන්ට ටැබ් පරිගණක භාවිත කරමින් අධ්‍යයන කටයුතු කරගෙන යාමේ මෙම සුවිශේෂ අවස්ථාව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියා කර ඇත.
නවීන තාක්ෂණය සමග බද්ධ වෙමින් ලෝකය සමඟ එක්වීමේ හැකියාව අපේ දරුවන්ට ලබාදිය යුතු බවත්, නව ලොව වෙනස්වීම් සමඟ ඉදිරියට නොගියහොත් අපේ රටේ දරුවන් පසුගාමී වන බව අමාත්‍යවරයා පැවසීය.
මෙම වැඩපිළිවෙළ හඳුන්වාදීමේ දී විවිධ අය විවිධ චෝදනා තමා වෙත එල්ල කළ බවත්, ඒ සියල්ල ඉවසමින්, මෙම ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගය හඳුන්වාදීමට හැකිවීම රටේ දරුවන් ලැබූ භාග්‍යයක් බවත් ඔහු සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අද විවේචන සිදුකරන අය මෙම ඉදිරි පියවර අනාගතයේ දී අවබෝධ කරගනු ඇති බව ද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයෙහි ඉතිහාසයේ පළමු වරට මෙරට පාසල් පද්ධතිය වෙත පරිගණක හඳුන්වාදෙන ලද බවත්, ඒ අවස්ථාවේ දී ද පාසල්වල පහසුකම් නංවාලීමට කළ හැකි වෙනත් බොහෝ දේ පෙන්වමින්, විවිධ පිරිස් ඊට විරුද්ධ වූ බවත්, එහෙත් අද වන විට එදා එතුමන් ගත් තීරණය නිවැරදි බව සියලු දෙනා පිළිගන්නා බවත් අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.
පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩපිළිවෙළට මේ වනවිට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති අතර, එහි පළමු අදියර යටතේ උසස් පෙළ සිසුන් සහ ගුරුවරුන් වෙත ටැබ් පරිගණක ලක්ෂයක් පමණ ලබාදීමට මේ අනුව කටයුතු යොදා තිබේ.
කෂිනි හපුආරච්චි