පෙට්ට්‍රල් ලීටර් 6500 සහිත ඉන්ධන බවුසරයක් ගල්කුලම ඉන්දන පිරවුම් හලේ භූගත ටැංකි සදහා ඉන්ධන පොම්පකරමින් සිටියදී හදිසියේ හටගත් ගින්නක් හේතුවෙන් එම බවුසරය හා ඉන්ධන පිරවුම් හල මුළුමනින්ම දැවී විනාශයට පත්වූ අතර සිදුවීමට ගිය මහා විනාශයක් වලක්වා ගැනීමට අනුරාධපුර මහනගර සභා නාගරික ගිනි නිවන ඒකකයේ නිලධාරින් අද (16දා) සමත් වූහ.
අද (16දා) සවස 2.45ට පමණ හදිසි ගින්න හටගෙන තිබූ අතර ගින්න හේතුවෙන් ඉන්ධන පිරවුම් හලේ ඩීසල් හා පෙට්ට්‍රල් ඉන්ධන නිකුත් කරන පොම්ප සියල්ලම විනාශයට පත්වී තිබුණි. ඊට අමතරව ඉන්ධන පිරවුම් හලේ ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම දැවි විනාශයට පත්වී තිබූ අතර එහි තිබූ LP ගෑස් ටැංකි විශාල ප්‍රමාණයක් අධික ගින්නට හසුවී පුපුරා විනාශවී තිබුණි.
ඒ නමය ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටි ඉන්ධන පිරවුම්හල තුල ගින්නක් හටගෙන තිබෙන බවට තිරප්පනය පොලිසියට සැලවීමත් සමග තිරප්පනය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක බී.එම් දිසානායක මහතා ඇතුළු පිරිසක් පැමිණ ගින්න නිවාදැමීමට දැඩි උත්සාහයක නිරතවූවත් ගින්න දැඩිව ව්‍යාප්තවීම නිසා වහාම ගිනි නිවන ඒකකය කැදවීමට පියවර ගනු ලැබීය.
ගිනි නිවන ඒකකයේ නිලධාරින් පැමිණ බවුසරය පුපුරා යාම වැලක්වීම සදහා අවශ්‍ය පියවර ගනු ලැබූ අතර ඉන්ධන බවුසරයේ හටගෙන තිබූ ගින්න විනාඩි දහයක් පමණ ඇතුලත මර්දනය කිරීමට සමත්වූහ.හටගත් ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීමට පැය තුනකට අධික කාලයක් ගිනි නිවන ඒකකයට ගතවුණි.
අනුරාධපුර - පි.බි චතුරංග