ප්‍රසිද්ධ වේදිකා හා සිනමා ටෙලි නාට්‍ය නිළියක්කගේ රූපලාවන ශිල්පි දියණියගේ පානදුර ගොරකාන රූපලාවණ්‍යාගාරයකට කඩාවැදී ඇයට පහරදී ඇයගේ කොණ්ඩය කැපූ කාන්තාවන් තිදෙනකු අද (14දා) අත්අඩංගුවට ගත් බව පානදුර උතුර පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් වූවන් අතර එකම පවුලේ මව සහ 17 හැවිරිදි ඇයගේ දියණිය හා නෑනා ද වන බව පොලිසිය කියයි
පහර කෑ පනස් තුන් හැවිරිදි රූපලාවන්‍ය ශිල්පිනිය ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහලට ඇතුළත්ව ඇතැයි පොලිස් නිලධාරියෙකු පැවසීය.
පහරදීමට පැමිණි මොරටුව එගොඩඋයන ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ සැමියා සමග රූපලාවණ්‍ය ශිල්පිනි අනියම් ඇසුරක් පවත්වන බවත් වාර්තා වෙයි.
පෙරේදා රාත්‍රී 7.30 ට පමණ එම කාන්තාව, දියණිය සහ නෑනා සමග රූපලාවණ්‍යාගාරයට කඩා වැදී පළමුව ඇයට පහර දී එහි තිබූ කතුරු දෙකක් උපයෝගී කරගෙන ඇගේ දිගු වරල සින් අඩියක් පමණ ප්‍රමාණයක් කපා පලාගොස් තිබූ බව රූපලාවන ශිල්පිනිය කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.
රූපලාවන්‍ය ශිල්පිනියට කාන්තාවන් තිදෙනා පහරදී කොණ්ඩය කපන අවස්ථාවේ දී රූපලාවණ්‍ය ශිල්පිණියගේ නීත්‍යනුකූල සැමියා සහ පුතුන් දෙදෙනාද සිට ඇති අතර ඔවුන් මැදිහත්ව රූපලාවණ්‍ය ශිල්පිනිය බේරා ගෙන ඇතැයි ද පොලිස් නිලධාරියෙකු කීය.
රූපලාවණ්‍ය ශිල්පිනිය ඊයේ ( 14) දහවල් කපන ලද කොණ්ඩයේ අඩියක් පමණක් කොටස,කතුරු දෙක සහ ඇය එම අවස්ථාවේදී හැඳ සිටි ඉරි ගිය ගවුම ද රැගෙන පොලිසියට පැමිණ පැමිණිලි කළ බව පොලිස් නිළධාරියෙකු පැවසීය.
ඇයට රෝහල්ගත වීමට අවශ්‍ය බව පැමිණිල්ලේ සඳහන් කළ බැවින් ඇයට අධිකරණ වෛද්‍ය පෝරමයක් ද නිකුත් කළ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකාරියන් මොරටුව එගොඩඋයන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ,31හා 17 වියේ පසුවන්නියන් බව පොලිසිය කියයි. සැකකාරියන් පානදුර අධිකරණය වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.