ආණ්ඩුව ඉන්ධනවලින් විශාල ලාබයක් ලබනා අතර, මුදල් නොමැති බව කියමින් රාජ්‍ය සේවක වැටුප් කප්පාදු කරනා බවත්, ඒ අතර අධිවේගී මාර්ග ඉදිකිරීමට රු. කෝටි 3100ක් වෙන් කර ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් පැවසීය.
හේරත් මහතා මේ බව සඳහන් කළේ අද (15දා) ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.
"වැඩිදුරටත් අදහස් දැක්වූ හේරත් මහතා, “කොරෝනා වසංගතයට කලින් ඉඳලාම ආර්ථිකයේ බරපතල ගැටලු මතුවෙමින් තිබුණා. ලෝක වෙළඳපොළේ තෙල් මිල සීග්‍රයෙන් පහළ බසිමින් තිබෙන බව කවුරුත් දන්නවා. ලෝක වෙළඳපොළේ තෙල් බැරල් එකක් ඩොලර් 133 සිට සීග්‍රයෙන් පහත බැහැලා. වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුලු ප්‍රභල අමාත්‍යවරු එදා පාපැදියෙන් පාර්ලිමේන්තුවට ඇවිත් තෙල් මිල අඩු කරන්න පැවැති ආණ්ඩුවට බල කළා.
බන්දුල ගුණවර්ධන ඇමතිවරයා විපක්ෂයේ සිටියදී රු. කෝටි 30,000ක අමතර ලාභයක් ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩුවීමේ වාසිය තුළින් ගන්න පුළුවන් කිව්වා. එම මුදල් විවිධ ආර්ථික ක්‍රියාකාරකම්වලට වෙන්කළ හැකි බව පෙන්වා දුන්නා. නමුත් වත්මන් ආණ්ඩුව ලෝක වෙළඳපොළේ කොතරම් තෙල්මිල අඩු වුණත් අවුරුද්දක් යන තුරු මිල අඩු නොකරන බවට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා.
අද බොරතෙල් බැරල් එකක් ලෝක වෙළඳපොළේ ඩොලර් 28ක් පමණ වෙනවා. විවෘත වෙළඳපොළේ ඩොලර් 28ක් වුණාට රාජ්‍යයන් අතර විවිධ ගිවිසුම් මගින් ගන්නකොට ඩොලර් 10ට ගන්න පුළුවන්.
ජනවාරි මාසයේ ඉඳලා මැයි මාසය වෙනකොට විවෘත වෙළඳපොළේ බොරතෙල් බැරල් එකක් 60%කින් මිල අඩුවෙලා. ජනතාවට මේ සහනය වහාම ලබාදිය යුතුයි. අද රු.104 තිබෙන ඩීසල් ලීටරය රු. 42ට දෙන්න පුළුවන්. රු.137ට තියෙන පෙට්‍රල් ලීටරයක් රු.55ට දෙන්න පුළුවන්.
භූමිතෙල් ලීටරයක් රු.70 ඉඳලා රු.28ට අඩු කරන්න පුළුවන්. මිල සහනය නොදීම නිසා ඉන්දීය අයි.ඕ.සී. සමාගම විශාල ලාභයක් උපයමින් තිබුණා. අපි ඊට විරුද්ධව දැඩිලෙස විවේචනය කිරීමේ ප්‍රතිඵලයක් හැටියට බද්දක් අය කරන්න පටන් ගත්තා.
ඒ නිසා ආණ්ඩුවට සල්ලි නැහැ කියන්න කිසිම අයිතියක් නැහැ. රු.5,000 දීමනාව ජනතාවට දෙන්න රු. කෝටි 2572ක් වැයකළ බව ආණ්ඩුව කියනවා. ඉන්ධන මිල අඩුවීම නිසා අතිරේකව කොපමණ මුදලක් උපයාගෙන තියෙනවාද කියලා ආණ්ඩුව කියන්නේ නැහැ.
මේ වාසියේ තරම රටේ ජනතාවට කියන්න කියලා අපි බන්දුල ගුණවර්ධන ඇමතිවරයාට අභියෝග කරනවා. ඉන්ධන මත බදු හෝ වෙනත් ගාස්තු කිසිවක් අඩු කරලා නැහැ. එදා රු. කෝටි 30,000ක අමතර ආදායමක් උපයන බව කිවු බන්දුල ගුණවර්ධන ඇමතිවරයා මේ තොරතුරු ජනතාවට හෙළිකළ යුතුයි.”