අධිවේගී මාර්ග ආරම්භ කළ පසු ඉතිහාසයේ වැඩිම වාහන ප්‍රමාණයක් ධාවනය කළ පැය 24 පසුගිය 20 වැනිදා මධ්‍යම රාත්‍රි 12 සිට 21 වැනිදා මධ්‍යම රාත්‍රි 12 දක්වා කාලය තුළ වාර්තා වී තිබෙන බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් ඒකකය සඳහන් කරයි.
එම කාලය තුළදී අධිවේගී මාර්ග දෙක හරහා වාහන එක් ලක්ෂ විසි දහසකට අධික ප්‍රමාණයක් ධාවනය වී තිබෙන බවද එම ඒකකයේ අධ්‍යක්ෂක එස්. ඕපනායක මහතා සඳහන් කළේය.
අදාළ කාලය තුළදී රුපියල් මිලියන තිස් දෙකකට අධික ආදායමක් ලැබී තිබෙන බවත්, මෙම වාහන ප්‍රමාණයෙන් වාහන 85,200 ක් ධාවනය වී තිබෙන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා බවද පවසා සිටියේය.
වාහන 35,000 කට අධික ප්‍රමාණයක් කටුනායක අධිවේගී මාර්ගය හරහා ගමන් කර තිබෙන බවද ප්‍රකාශ කළේය.
මීට පෙර වැඩිම වාහන ප්‍රමාණය වාර්තා වී තිබෙන්නේ වාහන එක් ලක්ෂ පන්දහසක ප්‍රමාණයක් බවත්, එහෙත් 20 වැනිදා සිට 21 වැනිදා දක්වා වූ පැය 24 කාලය තුළ වාහන 120,000 කට අධික ප්‍රමාණයක් ධාවනය වී තිබෙන බවද පවසා සිටියේය.