දිවයිනේ අධිකරණ පහකින් විවෘත වරෙන්තු දහයක් නිකුත් කර ඇති හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අද (17) දින සීගිරිය පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචි හතලිස් අට හැවිරිදි පුද්ගලයකු බව සීගිරිය පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශ්‍රීලාල් හෙට්ටිආරච්චි මහතා පැවසීය.
ජනතාව රවටමින් මුදල් වංචා කළ සිද්ධීන් ගණනාවක් සඳහා මතුගම ,කළුතර ,අනුරාධපුර, මහනුවර ,දොඩංගොඩ, යන අධිකරණ වලින් මෙම පුද්ගලයාට විරුද්ධව නඩු පැවැත්වෙන බවත් අධිකරණය මගහැර සිටීම නිසා මෙම පුද්ගලයාට විවෘත වරෙන්තු නිකුත් කර ඇතැයි සීගිරිය පොලීසිය කියයි.
අදාළ සැකකරු අනියම් බිරිඳ සමඟ මතුගම ප්‍රදේශයේ සිට අද දින සීගිරිය නැරඹීම සඳහා වාහනයකින් පැමිණ තිබෙන බවත් මතුගම පොලීසියේ ලැබුණු තොරතුරක් මත සීගිරිය පොලීසියේ පොලිස් කණ්ඩායමක් සීගිරිය ගල තරණය කොට නැවත එන අතරතුරදී අතර මඟ රැක සිට මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
පොළොන්නරුව ,කොළඹ, හා දිවයිනේ විවිධ ප්‍රදේශ වල වසර පහළොවක පමණ කාලයක් පොලිස් කොස්තාපල්වරයකු ලෙස සේවයේ යෙදී සිටි අයෙකු බවද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අනෙකුත් අධිකරණ වලට යොමු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව සීගිරිය පොලීසිය කියයි.
දඹුල්ල - කාංචන කුමාර ආරියදාස