වසර ගණනාවක් තිස්සේ අතහැර දමා තිබූ ජාතික ශිල්ප සභාවට අයත් සීගිරිය හස්ත කර්මාන්ත ගම්මානය නැවතත් ආරම්භ කොට විදේශීය වෙළඳපලට සරිලන පරිදි සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව වේවැල් පිත්තල මැටි ලී බඩු සහ ග්‍රාමිය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැවසීය.
රාජ්‍ය අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම් විජිත බණ්ඩාරනායක ජාතික ශිල්ප සභාවේ සභාපති සුදත් අබේසේකර යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් සමඟ 17 දින පස්වරුවේ දැනට වසා දමා ඇති සීගිරියේ පිහිටි හස්ත කර්මාන්ත ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූහ.
මෙම ස්ථානයේ ඇති වටිනාකම සහ අතහැර දමා තිබූ ගොඩනැගිලි මෙන්ම නැවත අලුත්වැඩියා කරන ලද ගොඩනැගිලි ආදී සියල්ල ගම්මානය පුරා ඇවිදිමින් නිරීක්ෂණය කරන්නට වූහ.
පසුව නිලධාරීන්ට උපදෙස් ලබා දී සිටියේ වහාම මෙම ස්ථානයට නව එළියක් එන ආකාරයට සංවර්ධනය කිරීම සඳහා දැනුම ඇති පුද්ගලයින් සොයා වාර්තාවක් සකසා තමා වෙත ලබාදෙන ලෙසය .
මෙහිදී මාධ්‍යවේදින් ඇමතූ රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා කියා සිටියේ සිගිරිය හස්ත කර්මාන්ත ගම්මානය සංචාරක පුරවරයක් වූ සීගිරියේ නැවත ස්ථාපිත කරන බව ය. එමෙන්ම විදේශීය වෙළෙඳපොළ ඉලක්ක කර ගෙන දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන් උනන්දු කරමින් මෙම ස්ථානය නැවත ශක්තිමත්ව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
විනාශ වී යන හස්ත කර්මාන්ත ගම්මානයට නැවත පණ දෙමින් ක්‍රියාත්මක මට්ටමේ පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා බවද වැඩිදුරටත් ඒ මහතා පැවසීය.
කාංචන කුමාර