ඉන්දුනීසියාව බාලි වෙරළට ඔබ්බෙන් පුද්ගලයන් 53 දෙනෙකු සමග අතුරුදන් වූ සබ්මැරීනයක් මුහුදේ ගිලී ඇති බව සොයා ගත්තේ යැයි එරට ආරක්ෂක අංශ පවසයි.
පසුගිය දින කිහිපය තුළ සබ්මැරීනය ගිලී ගියේ යැයි විශ්වාස කරන ස්ථානයෙන් සුන්බුන් සහ භාණ්ඩ සොයාගෙන ඇතැයි නාවික හමුදා ප්‍රධානී යූඩෝ මාගානෝ මාධ්‍ය හමුවකදී පැවසීය.
සබ්මැරීනය සඳහා ඔක්සිජන් සංචිත අවසන්වීමේ අවසාන දිනය ඊයේ අලුයම් කාලය බව නිලධාරියා සඳහන් කළේය.
ස්කෑන් පරීක්ෂණයකින් සබ්මැරීනය මීටර් 850 (අඩි 2,788) ක් පමණ ගැඹුරේ ඇති බව සොයාගෙන තිබේ.
කෙසේ වෙතත් මෙම ගැඹුර සබ්මැරීනය නොනැසී පවතින සීමාවෙන් ඔබ්බට ගිය අවස්ථාවක් බවත්, එය මීටර් 500ක් (අඩි 1,640) දක්වා ගැඹුරට ඔරොත්තු දෙන පරිදි නිර්මාණය කර ඇති බවත් නාවික හමුදාව කියයි.
ජර්මනියේ නිෂ්පාදිත KRI Nanggala-402 සබ්මැරීනය බදාදා අලුයම බාලි හි නිවාඩු නිකේතනයට උතුරින් ටෝර්පීඩෝ සරඹයක් සිදු කරමින් සිටියදී මෙසේ අතුරුදන් විය. මෙම නෞකාවේ පුද්ගලයින් 53ක් සිට ඇති අතර, ඒ අතර නැවියන් 49ක්, එක් අණ දෙන නිලධාරියෙකු සහ අවි භාරව සිටි තිදෙනෙකු ඒ අතර වෙයි.
දේශීය වේලාවෙන් අලුයම 3.00ට මතුපිට හා දිය යට ඉලක්කගත ටෝර්පිඩෝ වෙඩි තැබීමට කිමිදුම් අවසරය ඉල්ලා සිටීමෙන් පසුව එහි සම්බන්ධතා ඇණහිටි බව සඳහන් වේ.