2020 මහ මැතිවරණයට පෙරාතුව ව්‍යවස්ථාවේ අහිතකර කරුණු ඉවත්කරනවා යැයි ජනතාවට කී වත්මන් රජය ඒ වෙනුවට ජනතාවගේ නිදහස, මානව හා නීතිමය අයිතීන් කප්පාදු කර පුද්ගල කේන්ද්‍රීය අත්තනෝමතික බලයක් සඳහා මුලගල් තබන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
ජේ.ආර්. ජයවර්ධන ජනපතිගේ ව්‍යවස්ථාව ‘අධිරාජ්‍යවාදී ව්‍යවස්ථාවක්’ යැයි උද්ඝෝෂණය කරමින් විරෝධය පෑ මහින්ද රාජපක්ෂ මහතා ද ඇතුළු පිරිසම එක් පවුලක බලය තහවුරු කිරීම සඳහා යළිත් වරක් ඒකාධිපති පාලනයක් ගෙන ඒමට ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කර ඇති බවත් ඔහු නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
රට සංවර්ධනය කර ජනතාවට ප්රතිලාභ සැලස්වීමට නොව සියලු බලතල කේන්ද්‍ර කරගත් ඒකාධිපති පාලකයෙක් බිහි කිරීම සඳහා මෙම ව්‍යවස්ථා සංශෝධනය හේතුවන බවද ඔහු පවසයි.
නව සංශෝධනයෙන් ජනපතිවරණය හා පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පත්වන රටේ ද්විත්ව ජනවරම යටතේ පත්වන ව්‍යවස්ථාදායකය මෙන්ම අධිකරණය ද හෑල්ලුවට හා තර්ජනයට ලක්වන බව ඔහු පවසයි.
අධිකරණ සේවා කොමිසන් සභාව ඇතුළු ස්වාධීන කොමිසන් සභාවලට සාමාජිකයන් පත්කිරීම පමණක් නොව ඉවත් කිරීමේ බලය ද ජනපති සතුව තබාගෙන ඇති බව පෙන්වා දෙන හිටපු අමාත්‍යවරයා තමන් ඉවත් කිරීමේ බලය ජනපති සතුව තිබෙන බැවින් ජනාධිපතිවරයාගේ තෘප්තිය පරිදි රාජකාරි ඉටු කිරීමට අධිකරණ සේවා කොමසමේ සාමාජිකයන්, මැතිවරණ කොමිසන් සභාවේ සාමාජිකයන්, පාර්ලිමෙන්තුවේ මහ ලේකම් ඇතුළු ස්වාධීන කොමිසන් සභාවල නියෝජිතයන්ට සිදුවන විට එවන් ආයතනවලින් අපේක්ෂා කරනු ලබන ස්වාධීනත්වය, යුක්තිය හා සාධාරණය ඉටුවනු ඇතැයි ජනතාවට කිසිසේත් බලාපොරොත්තු විය නොහැකි යැයි පවසයි.
මෙසේ සියලු පාලන බලය එක් පුද්ගලයෙක් හරහා පවුලක් කේන්ද්‍රීය පවත්වාගෙන යාමේදී මන්ත්‍රීවරුන්ගෙන් එල්ලවන විරෝධය සමනය කළ හැකි අයුරින් ඇමති මණ්ඩලය පත්කිරීම සඳහා මෙතෙක් පැවති සීමාවන් ඉවත් කර තම සිතැඟි පරිදි ඇමතිවරු පත් කිරීමට බලය ලබාගෙන ඇති බවත් ඔහු පවසයි.