එක්සත් ජනපදය පුරා දැවැන්ත විරෝධතාවක් ඇති කිරීමට තුඩුදුන්, පොලිස් අත්අඩංගුවේ පසුවන විට ඝාතනයට ලක්වූ ඇමෙරිකානු කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් මියයන විට කොවිඩ්-19 සඳහා ධනාත්මව සිට ඇති බව ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී තිබේ.
එම පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහුගේ නැහැයෙන් ලබාගත් බිඳිති ඇසුරෙන් සිදුකළ පරීක්ෂණයේදී '2019-nCoV RNA' හෙවත් කොවිඩ්-19 වෛරසය සඳහා ධනාත්මක බව තහවුරු කරගෙන ඇත.
ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඇන්ඩෘ බේකර් පැවසුවේ මරණ පරීක්ෂණය සඳහා PCR පරීක්ෂණය ඇසුරෙන් මෙම ධනාත්මක ප්‍රතිඵලය ලැබුණත්, ඔහු රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයෙකු ලෙස සිටින්නට ඇති බවයි. කෙසේ වෙතත් ඔහුගේ මරණය කොවිඩ්-19 නිසා සිදුවූවක් බව සඳහන් කළ නොහැකි යැයි හෙතෙම වැඩිදුරටත් පවසයි.
ඒ අනුව ඔහුගේ දේහය පිළිබඳ නිකුත් කරන ලද අවසාන මරණ පරීක්ෂණ ප්‍රතිඵලයට අනුව ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය හෘදයාබාධයක් හෝ ඔහුගේ හදවත නැවැතීම නිසා සිදුව ඇති බව කියයි.
සේවයෙන් පහ කරමින් මේ වනවිට අත්අඩංගුවේ පසුවන හිටපු පොලිස් නිලධාරියෙකු වන ඩෙරෙක් චාවින් මිනිත්තු අටකට වඩා වැඩි කාලයක් සිය දණ හිසෙන් ෆ්ලොයිඩ්ගේ බෙල්ල පාගාගෙන සිට ඇති නමුත් ඔහුගේ මරණයට සෘජු හේතුව එය යැයි නිගමනය නොකරයි.
එමෙන්ම මෙම වාර්තාවෙන් පෙනී යන්නේ ෆ්ලොයිඩ්ගේ හිස, මුහුණ, මුඛය, උරහිස්, අත් සහ කකුල්වල තුවාල හා කැපුම් පහරවල් තිබුණත්, එම තුවාලවලින් කිසිවක් සෘජුවම ඔහුගේ මරණයට හේතු වූ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි.
එසේම මරණ පරීක්ෂණයෙන් කියැවෙන්නේ ෆ්ලොයිඩ්ට හෘද රෝග සහ අධි රුධිර පීඩනය පිළිබඳ ඉතිහාසයක් ඇති බවයි.
කෙසේ වෙතත් ෆ්ලොයිඩ් පවුලේ ඥාතීන් විසින් පත් කරන ලද ස්වාධීන මරණ පරීක්ෂණයකින් කියවී තිබුණේ, ෆ්ලොයිඩ් මිය ගියේ 'අඛණ්ඩ පීඩනයක් හේතුවෙන් හුස්ම හිරවීම' නිසා යනුවෙනි. එය ඔහුගේ මරණය සිදුවන ආකාරය දුටු බොහෝ දෙනෙකුගේද මතය වී තිබේ.