විවිධ හේතූන් නිසා පාර්ලිමේන්තුවේදී ඇසීමට නොහැකි වූ දැනට පවතින වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 68 ක් සදහා සැප්තැම්බර් මස 06 සහ 27 යන සදුදා දිනයන්හි පෙ.ව 10.00 සිට ප.ව 4.30 දක්වා කාලය වෙන් කිරීමට පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
තවද අගෝස්තු මස 17 වන දින සිට අගෝස්තු 20 වන දින දක්වා දින හතරක් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව ද මහලේකම්වරයා පැවසීය.
මේ අනුව අගෝස්තු 17 වන දින පාර්ලිමේන්තුව පෙ.ව 10.00 ට රැස්වන අතර පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා 2019 කොරෝනා වෛරස් රෝගය (කොවිඩ්- 19) (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පත, 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත යටතේ නියෝග, 2007 අංක 48 දරන විශේෂ වෙළද භාණ්ඩ බදු පනත යටතේ නියමයන් 06ක්, 2011 අංක 18 දරන වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝගයන් 05ක් විවාදයට ගැනීමට නියමිත වේ.
අගෝස්තු 18 වන දින ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත් කෙටුම්පත , නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමයන් 3ක් , සුරාබදු ආඥා පනත යටතේ නිවේදනය සහ රේගු ආඥා පනත (235 අධිකාරිය) යටතේ යෝජනා ද්විත්වයක් විවාදයට ගැනේ.
එම දෙදින තුළ ප.ව 4.30 සිට 4.50 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කොට ඇති අතර ප.ව 4.50 සිට 5.30 දක්වා අගෝස්තු 17 වන දින ආණ්ඩු පක්ෂය ද අගෝස්තු 18 වන දින විපක්ෂය ද ගෙන එන යෝජනා අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාද පැවැත්වීමට නියමිතය.
අගෝස්තු 19 වන දින පෙ.ව 11.00 සිට 12.00 දක්වා ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත විවාදයකින් තොරව සම්මත කර ගැනීමට නියමිත බවද මහලේකම්වරයා පැවසීය. අනතුරුව ප.ව 12.00 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය ගෙනෙන යෝජනාවකට අනුව “ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්රය තුළ දැනට පවතින ගැටලු” පිළිබද සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතය.
අගෝස්තු 20 වන දින පෙ.ව 11.00 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය ගෙනෙන යෝජනාවකට අනුව 2021 වර්ෂය සදහා වසර මැද මූල්‍ය තත්ත්වයට පිළිබද වාර්තාවට අදාළ සභාව කල් තැබීමේ විවාදය පැවැත්වේ.
පාර්ලිමේන්තුව පැවැත්වෙන දින 04 තුළදී ම පෙරවරු 10.00 සිට 11.00 දක්වා කාලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබෙන බවද මහ ලේකම්වරයා පැවසීය.
මේ අතර මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇති කාලය පෙ.ව 11.00 වන විට අවසන් කිරීමට කාරක සභාවේදී තීරණය විය. තවද, ස්ථාවර නියෝග 27(2) යටතේ ගැනෙන ප්‍රශ්න සදහා ඒවා අසනු ලබන පක්ෂ නායකයාට මිනිත්තු 05ක් ද ඒවාට පිළිතුරු ලබා දෙන්නේ නම් අදාළ අමාත්‍යවරයාට මිනිත්තු 05ක් ද වශයෙන් ලබා දීමටත් මෙහිදී තීරණය විය.
දැනට කිසිදු අමාත්‍යාංශයක විෂය පථයට නොගැනෙන, එහෙත් පාර්ලිමේන්තුවට පිළිගන්වනු ලබන විෂයයන් පිළිබද සොයා බැලීම පිණිස අග්රාමාත්යාවරයාගේ සභාපතීත්වයෙන් සහ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 දෙනෙකුගෙන් සමන්විත විශේෂ කාරක සභාවක් පත් කිරීමට ද මෙහිදී තීරණය වූ බව මහලේකම්වරයා පැවසීය.