අගමැතිවරයා විසින් අරලිය ගහ මන්දිරයට කැඳවන ලද සාකච්ඡාවට සහභාගීවීමට අදහසක් නොමැති බව සමගි ජනබලවේගය පවසයි.
පාර්ලිමේන්තුව කැදවීම ප්‍රතික්ෂේප කරමින් සහ පරණ පාර්ලිමේන්තුවේ 225ම එපා යැයි ආණ්ඩුවත්, ජනාධිපතිවරයාත් දැඩි ස්ථාවරයක සිටිමින් ඒ සදහා පුළුල් ප්‍රචාරයක්ද ලබා දෙන තත්ත්වයක් තුළ අගමැතිවරයා විසින් මන්ත්‍රීවරු 225 කැඳවීමට තීරණය කිරීමේ රජයේ දෙබිඩි පිළිවෙත පිළිබඳව විමතිය පළ කරන බව ද සමගි ජනබලවේගය සඳහන් කරයි.
අද (02) නිවේදනයක් නිකුත් කරමින් සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ, මේ මොහොතේ කළ යුතු ප්‍රායෝගික ක්‍රියාවලිය වන්නේ හිටපු කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව කැදවීම බවයි.
මෙම ව්‍යසනය තුරන් කිරීමට ආණ්ඩුව ගනු ලැබූ බොහෝ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගැටලු පැවතියද ඒවා සැලකිල්ලට නොගෙන ආණ්ඩුවට සහාය දැක් වූ බවත්, සති හයක කාලයක් තිස්සේ ආණ්ඩුව විසින් නීත්‍යානුකූල නොවන අන්දමින් ඇඳිරිනීතියක් පැනවූවද කොරෝනා මර්ධනය නමැති අත්‍යවශ්‍ය කාරණය හේතුකොටගෙන ඒ පිළිබඳව පවා උපේක්ෂාවෙන් කටයුතු කළ බවත් වැඩිදුරටත් සඳහන් කර සිටියි.
ව්‍යසනකාරී මොහොතේ පක්ෂ පාට භේදයකින් තොරව කටයුතු කිරීමේ වැදගත්කම මුල්කරගෙන විපක්ෂයේ සියලු පක්ෂ ඒකාබද්ධව ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියෙහි වූ අන්තර්ගතය ඔහු විසින්ම නොසලකා හරින ලද තත්ත්වයක් තුළ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ලබන සදුදා (4දා) පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 කැදවීමට කටයුතු කර තිබීම ගැටලු සහගත බව ද සමගි ජනබලවේගය වැඩිදුරටත් කියා සිටියි.