අග්නිදිග ආසියාව තුළ කොවිඩ්-19 වසංගතය හොඳින්ම පාලනය කළ රටවල් කිහිපයකම වෛරසයේ නව ප්රභේදයන් සමග ආසාදිතයන්ගේ තියුණු වැඩිවීමක් මේ වනවිට වාර්තා වීම නිසා, නව සීමා පැනවීම්, කර්මාන්ත ශාලා වසා දැමීම් මෙන්ම එන්නත්කරණ වැඩසටහන් වේගවත් කිරීම් සඳහා උත්සාහයන් දැකිය හැකිය.
මැලේසියාවේ දෛනික නව කොවිඩ්-19 ආසාදිතයන් ඒක පුද්ගල පදනම මත සැලකීමේදී මේ වනවිට ඉන්දියාවට වඩා ඉහළ ගොස් ඇති අතර, තායිලන්තය, වියට්නාමය, කාම්බෝජය, ලාඕසය සහ නැගෙනහිර ටිමෝරය යන රටවල සමස්ත ආසාදිතයන් පසුගිය මාසයේදී දෙගුණයකට වඩා වැඩි වී තිබේ.
පළමු වැනි කොවිඩ්-19 රැල්ල අවස්ථාවේදී මුලින්ම ආසාදිතයන් වාර්තා වූ තායිලන්තය එවකට වඩාත් හොඳින්ම ආසාදන පාලනය කරමින් ප්‍රශංසාවට ලක් වුවත්, මේ වනවිට එහි මරණ සංඛ්‍යාව මාස දෙකක් තුළ දස ගුණයකින් ඉහළ ගොස් ඇත.
වියට්නාම බලධාරීන් සති අන්තයේදී ඉන්දියානු සහ එක්සත් රාජධානියේ කොවිඩ්-19 ප්‍රභේද කැටිවූ ඉතා භයානක හයිබ්‍රිඩ් වෛරස ප්‍රභේදයක් සොයා ගැනීම අනාවරණය කළ අතර, එය වාතය හරහා වේගයෙන් ව්‍යාප්ත වන බව කීය.
"ගිනිකොනදිග ආසියාව පුරා රටවල්වල කොවිඩ්-19 ආසාදන අනුපාතය ඉතා භයානකයි" යනුවෙන් ජාත්‍යන්තර රතු කුරුස හා රතු අඩ සඳ සංගම්වල ජාත්‍යන්තර සම්මේලනයේ ආසියා පැසිෆික් අධ්යක්ෂ ඇලෙක්සැන්ඩර් මැතිව් පැවසීය. "වඩාත් භයානක හා මාරාන්තික ප්රභේදයන් මගින් සිදුවන මේ ආසාදන පාලනය කිරීම සඳහා විශාල ගෝලීය බෙදාහදා ගැනීමක් සහ එන්නත් නිෂ්පාදනය කිරීමේ හදිසි අවශ්‍යතාවක් ඉස්මතු කර තිබෙනවා."
ඇපල් සහ සැම්සුන් සේවක පිරිස් අඩු කරයි
වියට්නාමය මුල සිටම කොවිඩ්-19 වසංගතය පාලනය කළ රටක් ලෙස ප්‍රශංසා ලැබූ අතර, එය තවදුරටත් සනාථ කරමින් මිලියන 98ක් ජනගහනය සිටින රටේ තවමත් මරණ 50කටත් වඩා අඩු සංඛ්‍යාවක් සිදුව තිබේ. නමුත් මේ නව වෛරසය ප්‍රභේද සමග එරට සමාජ දුරස්ථ පියවර කඩිනමින් හඳුන්වා දෙමින්, රටේ ව්‍යාපාරික කේන්ද්‍රස්ථානය වන හෝ චින් මිං නගරයේ සඳුදා සිට සීමාවන්ට යටත් විය.
එරට උතුරු ප්‍රදේශයේ පිහිටි ඇපල් හා සැම්සුන් වැනි ගෝලීය තාක්ෂණ සමාගම්වල කර්මාන්තශාලා ධාරිතාවට වඩා අඩුවෙන් ක්‍රියාත්මක වන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
කොවිඩ්-19 සඳහා කම්කරුවන් ධනාත්මක බව පරීක්ෂා කිරීමෙන් පසු තායිලන්තයේ විශාලතම කෘෂි ව්‍යාපාරයක් වන චැරොඑන් පොක්ෆැන්ඩ් ෆුඩ්ස් සමාගම කුකුළු කම්හලක් දින පහක් වසා දැමීය. කර්මාන්තශාලා, ඉදිකිරීම් වැඩබිම් සහ බන්ධනාගාරවල තවත් ආසාදන දහස් ගණනක් සොයාගෙන ඇත.
පැතිරීම වැළැක්වීම සඳහා මැලේසියාව අඟහරුවාදා සිට සම්පූර්ණ අගුලු දැමීමක් සඳහා නියෝග කළද, සමහර කර්මාන්තශාලා අඩු ධාරිතාවකින් පවත්වාගෙන යා හැකි බව නිලධාරීහු පැවසූහ.
එන්නත්කරණයේ වේගය අඩුවීම
මැලේසියාව සිය එන්නත් කිරීමේ ව්‍යාපාරය වේගවත් කිරීමට උත්සාහ කර ඇති නමුත්, තවමත් එරට 6%කටත් වඩා අඩු පිරිසකට අවම වශයෙන් එක් මාත්‍රාවක්වත් ලැබී ඇත. එය ඉන්දියාවේ අනුපාතයෙන් අඩකි.
සමහර අග්නිදිග ආසියානු රටවල් බටහිර රටවලට වඩා එන්නත් ප්‍රසම්පාදනය කෙරෙහි අඩු අවධානයක් යොමුකර ඇති අතර, සමහරට රටවලට එන්නත් ලබාගත නොහැකි වීමෙන් දැන් ඒවාට සීමිත ප්‍රවේශයක් පවතී.
සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය විද්‍යායතනයේ පිඨාධිපති ටියෝ යික් යින් පැවසුවේ එන්නතෙන් ආරක්ෂා වී ඇති ජනගහනයෙන් කුඩා කොටසක් සමග ජනගහනයෙන් බහුතරයක් අවදානමට ලක්ව සිටින බවය.
"අග්නිදිග ආසියානු රටවල් කිහිපයක සෞඛ්‍ය සේවා පද්ධති අවදානමට ලක්ව හෝ දැනටමත් සම්පූර්ණයෙන්ම යටපත් වී තිබෙනවා." හෙතෙම සඳහන් කළේය.
බටහිර රටවලට සැසඳිය හැකි එන්නත් අනුපාතයක් ඇත්තේ ධනවත් රාජ්‍යයක් වන සිංගප්පූරුවේ පමණක් වන අතර, එරට ජනගහනයෙන් 36%කට වඩා අවම වශයෙන් එක් එන්නතක් ලබාගෙන ඇත.
අගමැති ලී හියන් ලූන්ග් රට විවෘත කිරීම සඳහා වූ උපාය මාර්ගයක් ගෙනහැර දැක්වීමට නියමිතව තිබූ අතර, සිංගප්පූරු ආර්ථිකය කලාපීය ව්‍යාපාරික හා ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස රඳා පැවතීම ඊට හේතුවයි.
"මේ සඳහා විසඳුම වන්නේ පරීක්ෂා කිරීම්, සම්බන්ධතා සොයා ගැනීම් සහ එන්නත් කිරීම්, සියල්ලම වේගවත් හා වැඩි වශයෙන් සිදු කිරීමයි" ලී පැවසීය.
පසුගිය වසරේ වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ කලාපයේ වඩාත්ම ජනාකීර්ණ රටවල් දෙක වන ඉන්දුනීසියාවේ සහ පිලිපීනයේ ඇතිවෙමින් පවතින තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය නිලධාරීන් විමසිල්ලෙන් සිටී.
පිලිපීනය සිකුරාදා සති හතරක් තුළ වැඩිම දෛනික ආසාදන සංඛ්‍යාවක් වාර්තා කළේය. ඉන්දුනීසියාවේ දින හතක සාමාන්‍ය රෝගීන් සංඛ්‍යාව මාස දෙකක කාලයක් තුළ වැඩිම අගය වාර්තා කළේය.
මියන්මාරයේ ඉන්දියානු දේශ සීමාව ආසන්නයේ ආසාදන සංඛ්‍යාෙව් වැඩිවීමක් වාර්තා වී තිබේ. පෙබරවාරි 1දා රට තුළ ඇති වූ කුමන්ත්රණයෙන් පසු බිඳ වැටී ඇති සෞඛ්‍ය පද්ධතිය සමග මීට මුහුණදීම ඔවුන්ටද ප්‍රබල අභියෝගයක් වී තිබේ.