මහ බැංකුව මුදල් අච්චු ගැසීම වෙළෙඳ පොළ සංවේදී කාරණාවක් බැවින් ඒ පිළිබඳ තොරතුරු මහ බැංකුවේ වාර්ෂික වාර්තාවල සඳහන් නොකරන නමුත් මුදල් අච්චු ගැසීම පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව මහ බැංකුවෙන් විමසූ අවස්ථාවලදී ඒ පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තු කාරක සභාවට ලබාදුන් බවත් කොමිසමේ කටයුතු සඳහා පෙනීසිටින රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ෂහිඩා බාරී මහත්මියගේ නැවත ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.
මාර්ග සංවර්ධන අධිකාරියේ කටයුතු සඳහා මසක කාලයක් ඇතුළත රුපියල් බිලියන 75ක මුදලක් ලබාදෙන ලෙස මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් ඉල්ලීම පිළිබඳව මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා තමන් සමග කිසිවක්ම කතාකළේ නැතැයි පැවසූ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අච්චු ගැසීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කාරක සභාවට යොමුකළ ලිපිය කොමිසමට ඉදිරිපත් කළේය.
මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම ධුරයෙන් ඉවත් කළ දිනයේදී තමන් කඳුළු සලමින් කතාවක් කළේ නැතත්, හැඟීම්බර කතාවක් කළ බවත්, මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඉවත් කළ දිනයෙන් පසුව පැවැති අවුරුදු සාදයේදී කතාවක් කරමින් ‘අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ප්‍රාර්ථනාව බර අඩුකර ගැනීම බවත්, තම ප්‍රාර්ථනාව අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ඉවත්වීම බවට තමන් නොපැවසූ බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්ෂි විභාග කිරීම සිදුකෙරේ.
2015 පෙබරවාරි මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා මෙම ජනාධිපති පරීක්ෂණ කොමිසම පත්කර තිබේ.