සිරිපා වන්දනා කාලය පටන් ගැනීමෙන් පසුව විශාල වශයෙන් බැතිමත්හු සිරිපා වන්දනාවේ යති. මෙහිදී ඉතාමත් සංවර ආකාරයෙන් හැසිරිය යුතුය. ඇතැමුන් සිරිපා ගමනට මාසයක සිට මස් මාංසයෙන් වැළකෙති. එසේම සිරිපා වඳින්නට යන විට කතාබහ පවා වෙනස් වේ. මේ එසේ සිදුවන කතාබහ ආශ්රිත කරුණු 7කි.
01. නඩේ ගුරා
සිරිපා කරුණා කිරීම අතීතයේදී අද මෙන් පහසු එකක් නොවීය. බොහෝ ගම් ප්‍රදේශවල සිරිපා කරුණා කරන ‘නඩයක් එකතුකොට ගන්නේ නඩේ ගුරාය. මෙසේ වන්දනා කරන පිරිස හඳුන්වන්නේ නඩය යනුවෙනි. එම පිරිසෙහි නායකයාට නඩේ ගුරා යන නම ව්‍යවහාර කෙරේ. වන්දනා පිරිස නඩේ ගුරාට අවනතව ඔහුගේ උපදෙස පරිදි සිරිපා ගමන සිදුකරති.
02. කෝඩුකාරයා
කෝඩුකාරයා යන්නෙන් අදහස් කරන්නේ පළමු වරට සිරිපා කරුණා කිරීම සඳහා ගමනට එක්වන අයයි. කොඩුකාරයන් වර්ග දෙකකි. එනම් කිරිකෝඩු හා දඬු කෝඩු වෙයි. මුල් වරට සිරිපා ගමනට එක්වන කුඩා දරුවකු හෝ දැරියක හඳුන්වන්නේ කිරිකෝඩු යනුවෙනි. මුල් වරට සිරිපා ගමනට එක්වන වැඩිහිටියා හැඳින්වෙන්නේ දඬුකෝඩු යනුවෙනි.
03. කරුණාවයි
සිරිපා ගමනේදී තම නඩයේ සේම වෙනත් නඩයක අය සමග ඔවුනොවුන් හමුවන අවස්ථාවන්හිදී ආශීර්වාද කරගන්නේ කරුණාවයි කියමිනි.
04. සැහැල්ලුව
සැහැල්ලුව යන්නෙහි සාමාන්‍ය තේරුම බර නැති යන අදහසය. එහෙත් සිරිපා වන්දනාව හා සම්බන්ධ සැහැල්ලුව එසේ බර නැති දෙයක් නොවේය. සිරිපා වන්දනාකරුවා රැගෙන යන සියලු ආම්පන්න බහාලන බෑගය මේ නමින් හැඳින්වෙයි.
05. පේ වීම
වන්දනාකරුවන් සිරිපතුල වඳින්නට පෙර පිරිසුදුවීම හඳුන්වන්නේ පේ වීම ලෙසය. හිසේ දෙහි කැබැල්ලක් ගා ශීත ගඟුලෙන් නෑම මෙහිදී විශේෂයෙන්ම පේ වීම නමින් හැඳින්වේ. පේ වීමෙන් පසු සුදු ඇඳුමක් පිරුවටයක් ඇඳිය යුතුය.
06. සංහිඳේ
සිරිපා වන්දනා කරන විට එම මග අවහිර වන අවස්ථා සිදුවෙයි. එවිට සංහිඳේ යන්න භාවිත වෙයි. එහිදී ඉතා සුහදශීලී ලෙස තවත් අයගෙන් ඉඩ ඉල්ලන්නේ මේ ආකාරයටය. “දෙන්න අපට සංහිඳේ... දුන්න අයට පින් පිරේ” යනුවෙනි.
07.ඉර සේවය
හිමිදිරි පාන්දර සූර්යයා පෙරදිගින් උදාවීම සිරිපා මළුවේදී හඳුන්වනු ලබන්නේ ඉර සේවය ලෙසිනි. කඳු අතරින් පෙනෙන මෙම සූර්ය උදාව ඉතාමත් මනරම් දසුනකි. මේ ස්වභාවික සිදුවීම ඉර සේවය නමින් හැඳින්වේ.