01. විෂ්ණු දෙවියන්
හින්දු සංකල්පයට අනුව ත්‍රිමූර්තියට අයත් එක් ප්‍රධාන දෙවියෙකි. බ්‍රහ්ම විසින් ලෝකය මවන ලද්දේ යැයිද, විෂ්ණු විසින් ලෝකය පාලනය කරන්නේ යැයිද ඔවුන්ගේ මතයක් පවතී. නිල්වන් ශරීරයකින් යුක්තය. ගුරුළු වාහනයක් අරා සිටී. බුද්ධ ශාසනයේ ආරක්ෂක දේවතාවා විෂ්ණු දෙවියන් බව බෞද්ධයන්ගේ පිළිගැනීමයි. තමන් වෙත පැමිණෙන දුක්ඛ, දොමනස්ස, කරදර කම්කටොලු ආදියේදී විෂ්ණු දෙවියන් අරභයා භාරහාර වීම සිරිතයි.
02. ස්කන්ධ හෙවත් කතරගම දෙවියෝ
වේදයෙහි සඳහන් දෙවියෙකි. කන්ද ස්වාමි, කදිරේෂ, ශන්මුග,ආරුමුග,කුමාරස්වාමි,මුරුක,කතරගාමම් සහ සුබ්රමන්ය යන නාමයන්ගෙන්ද හඳුන්වනු ලැබේ. මුහුණු සයක් සහ අත් දොළොසක් ඇත. එබැවින් බාසුරු කියාද පවසයි. මයුරා පිට වැඩ සිටී. රුහුණට අධිපති දෙවිඳුන්ය. සැවුල් ධජය දරයි. මිනිසුන් කෙරෙහි පැතිරෙන්නා වූ විවිධ දුක් කම්කටොලු වෙනුවෙන් බාරහාර වූ විට කතරගම දෙවිඳුන් විසින් එකී දුක් කම්කටොලුවලින් ඔවුන් මුදවාලීමට කටයුතු කරන අතර, මිනිසුන් විසින් එකී දෙවියන් වෙනුවෙන් වූ බාරහාර ඔප්පු කර දෙවියන්ට පිං පෙත් පැමිණවිය යුතුය. කතරගම ශ්‍රී ස්කන්ධ කුමාර මහ දෙවොල කතරගම දෙවිඳුන් අදහන ප්‍රධාන දේවාලය ලෙස පිළිගැනේ.
03. සුමන සමන් දෙවියෝ
මෙම දෙවිඳුන් සමනල අඩවියට එනම් සබරගමු ප්‍රදේශයට අධිපති දෙවිඳුන්ය. සබරගමු මහ සමන් දෙවොල සමන් දෙවිඳු නමින් කරවන ලද්දකි. සබරගමු සාම්ප්‍රදායික ශාන්තිකර්මවලදී ප්රමුඛ වශයෙන් පුද ලබන දෙවි කෙනෙකි. බුදුන් වහන්සේ ශ්‍රීපාදස්ථානයේ සිය පාද ලාංචනය තැබුවේ සමන් දෙවියන්ගේ ආරාධනයෙන් බවට පැවසේ. ශ්‍රී ලාංකිකයන් විසින් බැතිබරව අදහනු ලබන දෙවියෙකි.
04. දෙවොල් දෙවියෝ
දෙවොල් දෙවියන් හත් කට්ටුවකි. වෙළෙඳාමට පැමිණි මොවුන්ගේ නැව මහ මුහුදේදී කුණාටුවකට හසුවී කැඩී ගියෙන් මණිමේකලාව විසින් මවාදුන් පහුරක නැගී මෙරටට පැමිණි බවට කියවේ. පත්තිනිය දෙවොල් දෙවියන්ට ගොඩ බසින්නට නොදී ගිනි කඳු හතක් මවාලූ බවද කියවේ. එම ගිනි කඳු හත අතින් අල්ලා, පයින් පාගා පොඩි කොට ලංකාවට ගොඩ බසින්නට දෙවොල් දෙවියන් සමත් වූ බවට කියවේ. හිරු සාමි, තෙද රැස් සාමි,ගිනි රැස් සාමි, සඳ රැස් සාමි, යස රැස් සාමි,මහා සාමි, දෙවොල් සාමි නමින් හඳුන්වන දෙවොල් දෙවි හත් කට්ටුවට කුරුම්බර පිරිවරක්ද ඇත. දෙවොල් මඩු ශාන්තිකර්මය දෙවොල් යාගය, පත්තිනි යාගය යනුවෙන් කොටස් දෙකක් බවට පත්වූයේ එබැවිනි.
05. දැඩිමුණ්ඩ දෙවියෝ
දේවතා බණ්ඩාර යනුවෙන්ද මෙම දෙවියා හැඳින්වේ. හඳුන් කුමාර,මැණික් බණ්ඩාර යන පර්යාය නාමයද මොහුට යෙදී තිබේ. මහානුභාව සම්පන්න දෙවි කෙනෙකි. එරන්දතී නම් නාග කන්‍යාවගේ කුසින් පූර්ණක නම් වූ යක්ෂ සේනාධිපතියාට දාව තලගිරි කන්දේ උපන් බව කියවේ.
06. මංගර දෙවියෝ
මෙම දෙවියන් පිළිබද උප්පත්ති කතා රාශියක් ඇත. සබරගමු සාම්ප්‍රදායික ශාන්තිකර්මවලදී වෙසෙසින්ම පුද ලබන දෙවියෙකි. කිතල්ලව නම් රජෙකුට දාව උපන් බවට කියවේ. කිරි හරක්ට ඇළුම් කළ අතර, කුළු හරක් ඇල්ලීමේ දක්ෂතාවයක් මොහුට තිබුණි. දිනක් මීමෙකු විසින් ඇණ මරා දමන ලදී. එඬේර කුමරකු විසින් මීමා මරා උගේ ශරීරාංග ප්‍රයෝජනයට ගෙන කිරි උතුරුවා මෙම කුමරුගේ ඇඟට ඉස්සේය. ඉන් පසු නැවත පණ ආ කුමරු වනයට පැනගිය බවට කියවේ.
07. අයියනායක දෙවියෝ
බලසම්පන්න දෙවි කෙනෙකු වන මෙම දෙවියන්ට වැව් බැඳි රටේ ගැමියන් මහත් භක්ත්‍යාදරයෙන් පුද පූජා පවත්වයි. අයියනායක දෙවියන් වෙනුවෙන් අතු එල්ලීම සඳහා ගස් වෙන් කර තිබේ. මෙකී ගස්වල අයියනායක දෙවියන් සිහිපත් කර අත්තක් එල්ලා තැබූ විට කිසිදු විපතක් සිදුනොවන බවට විශ්වාසයක් පවතී.
ප්‍රියාන් ෂමික