01. රීරි යක්ෂයා
ශ්රී ලංකාවේ පුද පූජාවලට ලක්වන යක්ෂ කොට්ඨාසයන් අතර සිටින බලගතු යක්ෂයෙකු බවට පැවසේ. දළ රීරි යක්ෂයා, මරු රීරි යක්ෂයා, අටමගලේ රීරි යක්ෂයා, ඉර මුදුන් රීරි යක්ෂයා, තොටුපළ රීරි යක්ෂයා, කඩවර රීරි යක්ෂයා යනුවෙන් එක් එක් අවස්ථාවලදී බලපාන ආකාරය අනුව රීරි යක්ෂයාට අපර නම් රාශියක් තිබේ. සයිරාෂ්ඨ නම් දේශයේ, රීරි ගල් පර්වතයේ, ලේ පොකුණේ, ලේ විලේ උපන් බවට පැවසේ. ලේ මල් විලේ වාසය කරයි. රතු වස්ත්රයක් හඳී. වාලි මුහුණකින් යුක්ත බවට පැවසේ. එක් අතක යම මුගුරකි. නාසයෙන් ලේ යෑම, ලේ කිලි මාලය, ලේ ගුල්ම වැනි රුධිරය ආශ්රිත රෝග මොහු නිසා සිදුවන බවට විශ්වාස කෙරේ.
02. කළු යකා
සත් මුහුදෙන් එතෙර ඇති නිල් මුහුදෙහි වෙසෙන කරඬුබානා නොහොත් ගිනි කුමරියගේ කුසයෙන් උපන් බවට පැවසේ. මායා කෝවිලේ වාසය කරයි. මායාවක් ලෙසින් අවුත් ලෙස ඇති කරන බවට විශ්වාස කෙරේ. කළු වස්ත්රයක් හඳී. අතෙක වීදුරු කඩුවකි. මොහු විසින් වාත රෝග ඇති කරන බවට විශ්වාස කෙරේ.
03. මහසෝනා
වලස් මුහුණකින් සහ මිනිස් ශරීරයකින් යුක්ත බවට පැවසේ. සුදු වස්ත්රයක් හඳී. සඳ පායා ඇති රාත්රීවල අමු සොහොනේ, තුන් මංසලේ, දෙමංසලේ ඉඳ දුටුවන් ලෙඩ කරන බවට විශ්වාස කෙරේ. ඌරු අවතාරයෙන් යුක්තය.
දුටුගැමුණු රජතුමාගේ දස මහා යෝධයන්ගෙන් එක් යෝධයෙකු වූ ගෝඨයිම්භර සමග කළ ද්වන්ධ සටනේදී හිස සුන්ව මියගිය රිටිගල ජයසේන නම් වූ යෝධයෙකු මහසෝනා වූ බවට පැවසේ. මොහුට වලස් මුහුණක් ලබාදුන්නේ %සෙනසුරා^ විසින් යැයි ජනශ්රැතියෙහි සඳහන්ය. මෙකී මුහුණ හිස සුන් කඳට සවි කිරීමේදී මුහුණ පිටුපසට හරවා සිටින සේ සවි කිරීම නිසා ශරීරය ඉදිරිපසටත්, මුහුණ පිටුපස බලාත් සිටීම මහසෝන් යක්ෂයාගේ සුවිශේෂ ලක්ෂණයයි.
04. සූනියම් යක්ෂයා
ගම්බාර දේවතාවුන් වහන්සේ ලෙසද මොහුව හැඳින්වේ. යක්ෂ,දේව යනුවෙන් ස්වභාවයන් දෙකකි. යහපත සලසන විට දේව ස්වභාවයෙන්ද, විපත සලසන විට යක්ෂ ස්වරූපයෙන්ද යුක්තය. ඔඩ්ඩි යක්ෂයා, ඔඩ්ඩි දේවතාවා යනුවෙන්ද හඳුන්වන්නේ මොහුවය. ආතුර පක්ෂය මෙන්ම යකැදුරු පක්ෂයද ආරක්ෂා කරයි.
05. කළු කුමාරයා
කළු කුමාර දේවතාවා ලෙසද හඳුන්වයි. කළු කුමාරයාගේ උපත පිළිබඳව විවිධ ජනප්රවාද ඇත. එක් උපත් කතාවකට අනුව එක් කුමරෙක් ස්ත්රී පුරයේදී ස්ත්රීන්ගේ ග්රහණයට හසුවී මියගොස් තිබේ. එදා ස්ත්රී පුරයේදී ස්ත්රීන් එකිනෙකා පොර අල්ලා ඇඟ මස් කඩා ගැනීමෙන් මියගිය හෙයින් ස්ත්රීන් කෙරෙහි වෛරයෙන් කළු කුමරු වී උපන් බවට පැවසේ. මොහු විසින් ස්ත්රීන්ට ලෙඩ, තනිකම් දෝෂ, උන්මාද ඇති කරවන බවට පැවසේ. එමෙන්ම කළු කුමරා ස්ත්රීන්ගේ දරුඵල නැති කරන බවත්, සිහිනයෙන් තරුණියන්ට පෙනී ඔවුන් සමග හැසිරෙන බවටත් විශ්වාසයක් පවතී. කීල මදන, කළුදෑකඩ, ගිනි කුමාර, වට කුමාර, මල් කුමාර යනාදී වූ නම් රාශියකින් මොහුව හඳුන්වනු ලැබේ.
06. අභිමාන යක්ෂයා
කාසි රටේ දේශගුරු නම් පියෙකුට දාව ආඬි මවකගේ කුසින් උපන් බවට කියවේ. සුදු වස්ත්රයකින් සැරසේ. තුන් මුළු තොප්පියක් පැලඳ, තුන් මංසල, දෙමංසල රැක සිට ආතුරයන් ලෙඩ කරවන බවට පැවසේ. මොහු විසින් කතරගමට යන මග රැක සිට දන්කඳ උදුරා ගන්නා බවට පැරණි ගැමියන්ගේ විශ්වාසයක් පැවතිණි.
07. රාජමුළු සන්නි යක්ෂයා
සන්නි යකුන් දහඅටට නායක යක්ෂයාය. සංඛපාල නම් වූ රජුට දාව අසූපාල නම් වූ බිසවගේ කුසින් උපන් බවට කියවේ.
ඔහුගේ උප්පත්ති කතාව මෙසේය. සංඛපාල රජු අසූපාල දේවියව අනිවාරතේ සැක කර වධකයන් ලවා දෙපලු කරවා මරා දැමීය. එක් පළුවක් පුබ්බේරිය ගසක එල්ලා අනෙක් පළුව අමු සොහොනේ බිම රැඳවීය. මහ වැසි වැස පුබ්බේරිය අත්ත කඩා වැටී පළු දෙක එකට යා වීමෙන් පුතෙක් උපන් බවට කියවේ. මවගේ ඇඟ මස් කා වැඩුණු මේ කුමරා තමාට වූ විපත බලා පියා කළ අපරාධය දිවැසින් දැක, කැලේ කොළ කඩා අඹරා ගුලි දහඅටක් සකස් කර, එයින් දහඅටක යක්ෂ පිරිවරක් මවා ගත්තේය. ඔහු එකී පිරිවර සමග විශාලා නුවරට ගොස් එය වනසා එහි තුන් බියක් ඇති කළ වේලේ බුදුරදුන් එහි වැඩ රතන සූත්රය දේශනා කර, යකුන් සක්වල ගලින් එපිටට පන්නවා හැර ඔවුනට දොළක්, පිදේනියක් ගෙන දිවි රැක ගන්නට අවසර දී වදාළ බවත් පැවසේ.
ප්රියාන් ෂමික