1) ගැට බෙරය
ලංකාවට ආවේනික වාද්‍ය භාණ්ඩයක් වන මෙය උඩරට නර්ථන සම්ප්රදායේදී භාවිතා කරයි. පංචතූර්ය භාණ්ඩ වර්ගීකරණයට අනුව මෙය ආතත නැතහොත් අතින් පමණක් වාදනය කරන වාද්‍ය භාණ්ඩයකි. මෙහි අග කෙලවර දෙක මැදට වඩා සිහින් වේ.
2) යක් බෙරය
මෙයද ලංකාවට ආවේනික වාද්‍ය භාණ්ඩයකි. පංචතූර්ය භාණ්ඩ වර්ගීකරණයට අනුව මෙය ආතත වාද්‍ය භාණ්ඩයක්වන අතර දෙවොල්මඩු ගම්මඩු වැනි පහතරට ශාන්තිකර්මවලදී මෙය යොදා ගනී.
3) දවුල
පංචතූර්ය භාණ්ඩ වර්ගීකරණයට අනුව 'විතතාත' ගණයට අයත් වන සංගීත භාණ්ඩයකි නැතහොත් මෙය වාදනය කරනුයේ අතින් සහ කෝටුවකිනි . මෙය හේවිසි වාදනය සඳහා මෙන්ම අණ බෙර වාදනයේදීද යෙදා ගනී. එසේම මෙය සබරගමු නර්තන සම්ප්රදායේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩයයි.
4) තම්මැට්ටම
බෙර දෙකකින් සැදුම්ලත් තම්මැට්ටම වාදනය කිරිම සඳහා කෝටු දෙකක් යොදාගැනේ එනිසා මෙය විතත වාද්‍ය භාණ්ඩයකි . බෞද්ධ වෙහෙර විහාර සහ බෞද්ධාගමික චාරිත්‍ර ආශ්රිත තේවා කටයුතු සඳහා වාදන සම්ප්රදායක් වශයෙන් මෙන්ම දේවාල හා බැඳි, පුද පූජා වතාවත් උදෙසා මෙය භාවිතා වෙයි. තම්මැට්ටම වාදනය කිරීමට "කඩිප්පු" නමින් කෝටු දෙකක් යොදා ගනී. මේ සඳහා භාවිතා කරන කඩිප්පුව අගින් වක් වී ඇත. බෞද්ධ විහාරස්ථානවල හේවිසි වාදනයේදී තම්මැට්ටම අනිවාර්යෙන්ම තිබිය යුතුය.
5) උඩැක්කිය
දේශීය අවනද්ධ භාණ්ඩ අතර කුඩාම වාද්‍ය භාණ්ඩය වන්නේ උඩැක්කියයි.අනෙකුත් අවනද්ධ භාණ්ඩ අතරින් මෙය වෙනස් වේ. ග්‍රහපන්ති කවිවල හිරු දෙවියන්ගේ එක් අතකඋඩැක්කිය ඇති බව සඳහන් වන බැවින් එය සිරිවස යන නමින්ද හඳුන්වන බව කියයි.මෙහි දකුණු ඇසට තලගොයි හම් හෝ වඳුරු හම් යොදා ගනියි. වම් පස ඉතාතුනී වූ එළු හම් යොදා ගනියි.
6) රබාන
මෙහි අත් රබාන හා බංකු රබාන යනුවෙන් වර්ග දෙකක් ඇත. අත් රබාන විරිදු කීමෙදී යොදා ගනී. බංකු රබාන මෙහිදී විශේෂත්වයක් ගනී. සිංහලයාගේ සුවිශේෂිත උත්සවයක්වන සිංහල අලුත් අවුරුද්දේදී ඔවුන් මෙය වාදනය කරන අතර සිංහලයන්ගේ විවාහ උත්සවයන් තුළදීද ගැමියන් අතීතයේ සිටම මෙය වාදනය කරයි.
7) බුම්මැඩිය
මෙයද මෙරටට ආවේනික දේශීය අවනද්ධ භාණ්ඩයක්වන අතර ගොයම් කැපීමේදී ඇතිවන විඩාව දුරු කරගැනීමට ගැමියන් මෙය වාදනය කරමින් ගොයම් කවි කියනු ලබයි.කළයක් වැනි මැටි භාණ්ඩයක මුවට සමක් යොදා මෙය සාදා තිබේ.
ප්‍රියාන් ශමික