01) ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව
ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා 1960 වර්ෂයේ ශ්‍රී ලංකා යුද හමුදාවට එක්විය. ඒ මහතාගේ නායකත්වයෙන් 1987 වඩමාරච්චි සටන ක්‍රියාත්මක විය.
ඒ තුළින් ත්රස්තවාදීන් ඉතා සීමිත භූමියකට සීමාකිරීමට සමත්ව සිටියදී මෙම මෙහෙයුම අතරමග නතර කෙරුණි. යුද හමුදාවට සහ රටට ඉතා විශාල සේවයක් කළ කොබ්බෑකඩුව මහතා 1992.08.08දා යාපනයේදී බෝම්බයකට හසුවීමෙන් ජීවිතක්ෂයට පත් විය.
02) කෝප්රල් ගාමිණී කුලරත්න
1966 වසරේදී හසලක ප්‍රදේශයේදී උපත ලබා ඇති ගාමිණි කුලරත්න පසුකාලීනව ශ්‍රී ලංකා යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුවට එක්විය.
ඒ අනුව අලිමංකඩ යුද හමුදා කඳවුරේ සේවය කරන අතර 1991.07.14දා එම කඳවුරට ප්‍රහාරයක් එල්ල කිරීමට මරාගෙන මැරෙන ත්‍රස්වාදීන් විශාල ප්‍රමාණයක් රැගත් බුල්ඩෝසරයක් පැමිණෙනු දුටු ගාමිණි රණවිරුවා තම කඳවුර හා තම සහෝදර සෙබළුන් රැකගැනීමට බෝම්බයක්ද රැගෙන එම බුල්ඩෝසරයට පැන එය විනාශ කරමින් රට වෙනුවෙන් දිවිපිදීය.
03) කර්නල් ඒ.එෆ්. ලෆීර්
1958.12.26 උපන් කර්නල් ඒ.එෆ්. ලෆීර් මහතා රට වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ සේවා බළකායේ අතිශූර දස්කම් පෑමට සමත් විය.
1996 වර්ෂයේදී මුලතිව් කඳවුරට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් කොටුවී සිටී තම සහෝදර සෙබළුන් බේරාගැනීමට විශේෂ මෙහෙයුමකට එක්ව සිටි ලෆීර් මහතා ත්‍රස්ත ප්‍රහාරයකින් රට වෙනුවෙන් දිවි පිදීය.
04) ප්‍රධාන සුළු නිලධාරී කේ.පී. ශාන්ත
කේ.පී ශාන්ත රණවිරුවා ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝනයේ සේවය කළ රණවිරුවෙකි.
2008.11.01දා නාවුක හමුදා සෙබළුන් ප්‍රවාහනය කරන ලද විශාල නෞකා දෙකකට එල්ලවූ මුහුදු කොටි ප්‍රහාරයෙන් එම නෞකා දෙකේ සිටින තම සෙබළුන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට තමා සිටින කුඩා යාත්‍රාව සතුරන් ඉදිරියට ගොස් පුපුරවා ගැනීමෙන් සිය ජීවිතය රට වෙනුවෙන් පුද කළ අභීත රණවිරුවෙකි.
05) ක්රෝප්රල් රංජිත් ප්‍රේමසිරි (නීරෝ)
1991.02.12දා ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වන ක්රෝප්රල් රංජිත් ප්‍රේමසිරි පසුකාලීනව නීරෝ යන අන්වර්ත නාමයෙන් හඳුන්වනු ලැබීය.
මොහු ඉතා දක්ෂ ස්නයිපර් වෙඩිකරුවෙක්ද විය. අවසන් යුද්ධය සඳහා තම වගකීම පැහැර නොහැර ඉටුකල මෙම රණවිරුවා පුදුමාතලන් ප්‍රදේශයේදී ත්‍රස්තවාදී ඉලක්ක වෙඩි කරුවෙකුගේ ප්‍රහාරයකට ලක්වීමෙන් ජාතියට අහිමි විය.
06) ලුතිනන් කර්නල් ඒ.ජේ.එල්. ජයසිංහ
විශේෂ සේවා බළකායේ නිලධාරියෙකු ලෙස ඒ.ජේ.එල්. ජයසිංහ මහතා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වෙයි.
දිගු දුර මෙහෙයුම් සඳහා හසල පළපුරුද්දක් සහිත ලුතිනන් කර්නල් ඒ.ජේ.එල්. ජයසිංහ මහතා 2008.11.20 දින කි.මී. 40ක් පමණ දුර ත්‍රස්ත ඉලක්කයක් සොයා විශේෂ මෙහෙයුමක් සිදුකරන ලදී. එම මෙහෙයුම සිදුකර නැවත පැමිණෙන අතර වාරයේ ත්රස්තවාදීන් හා සිදුවූ ගැටුමින් මෙම සෙබළා ජාතියට අහිමිවිය.
07) කෝප්රල් ජී.එන්.එම්. නිලන්ත පුෂ්පකුමාර
කෝප්රල් ජී.එන්.එම්. නිලන්ත පුෂ්පකුමාර ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ සේවා බළකායේ සේවය කළ රණවිරුවෙකි.
අවසන් යුද සමයේ 2009.02.01දා ඒ 35 මාර්ගය ආසන්නයේදී ත්රස්තයන් විසින් එල්ල කරන ලද අනපේක්ෂිත ප්‍රහාරය හමුවේ සෙබළුන්ගේ ජීවිත බේරාගැනීම සහ හමුදාව සතුවූ ආයුධ ගබඩාව ත්රස්තයන් අතට පත්වීම වැළැක්වීමට බෝම්බයක් පුපුරුවා ගනිමින් දිවිහිමියෙන් කටයුතු කරන ලදී.