ප්‍රථමාධාර (Fist Aids) ලෙස හඳුන්වන්නේ හදිසි අනතුරකින් පසු වෛද්‍යවරයා වෙත යෑමට පෙර රෝගියාගේ සුබ සිද්ධිය වෙනුවෙන් කළ හැකි ආධාර උපකාර වේ. මෙහිදී බලාපොරොත්තු වන ප්‍රධාන අරමුණු අතර අනතුරට ලක්වූ තැනැත්තාගේ දිවි ගලවා ගැනීමද, අනතුර නිසා ඇතිවූ තුවාලය හෝ අබාධය සුව වීම පහසු කරවීමද මූලික වේ.
01. අස්ථියක් බිඳීම
අස්ථියක් බිඳුණු විට දිය හැකි වැදගත්ම ප්‍රථමාධාරය නම් එය සෙලවීම වැළැක්වීමට කටයුතු යෙදීමයි. රෝගියාටම අතින් අල්ලාගත හැකි තැනක් නම් එය අල්ලා ගැනීමට උපදෙස් දීම සුදුසුය. බිඳුණු අස්ථි සෙලවීම වැළැක්වීමට දෙපසට පතුරු තබා බැඳීමද හොඳ ප්‍රථමාධාරයකි. මෙවැනි අවස්ථාවලදී යොදාගත හැකි විශේෂ උරමාද (බාහු උරමාව) තිබේ.
02. නාසයෙන් ලේ ගැලීම
වැටීමක්, හිසෙහි, නළල දෙස වන්නට වැදුණු පහරක් වැනි හේතු නිසා මේ තත්ත්වය ඇතිවිය හැකිය. සමාන්‍යයෙන් රුධිර ගැලීමකදී රුධිර කැටිය ඉවත් නොකරද මෙවන් අවස්ථාවකදී කැටි ගැසී ඇති රුධිරය ඉවත් කළ යුතුය. තවද හිස, නළල, නාසය මත තෙත රෙද්දක් තැබීමෙන් ලේ ගැලීමේ වේගය අඩු කර ගත හැක.
03. දියේ ගිලීම
දියේ ගිලුණු තැනැත්තෙක් ගොඩට ගත් විගස කළ යුත්තේ ඔහුගේ ඇනහිට ඇති ශ්වසනය යථා තත්ත්වයට පත්කර ගැනීමයි. මෙහිදී කෘත්‍රිම ශ්වසනය (Artificial Respiration) ලබාදිය යුතුය.
04. ක්ලාන්තය
මෙවැනි අවස්ථාවකදී රෝගියාගේ හිස මඳක් පහත් වනසේ දිගා කරවීමෙන් හිසට රුධිරය ගැලීම පහසු කරවිය හැක.රෝගියාගේ තද ඇඳුම් බුරුල් කිරීම, පවන්සැලීම, මුහුණ තෙත රෙද්දකින් පිසදැමීම වැනි ප්‍රථමාධාර රෝගියාව ප්‍රකෘති තත්ත්වයට පත්කර ගැනීමට උපකාරී වේ.
05. තුවාලයකින් ලේ ගැලීම
මෙවැනි අවස්ථාවකදී දෙන ප්‍රථමාධාරවල මූලික අරමුණු වනුයේ රුධිරය ගැලීම අඩු කිරීමත්, තුවාලය හරහා විෂබීජ ශරීරගත වීමේ අවදානම අවම කිරීමත්ය. ලේ ගලන ස්ථානය ඇඟිල්ලෙන් තදකර ගැනීම හෝ තෙත රෙදි කඩකින් තුවාලය වසා රෙදි පටියකින් තුවාලය බැඳීම සිදුකළ යුතුය.
06. සුනඛයෙකු සපා කෑම
මෙහිදී දිය හැකි මූලිකම ප්‍රථමාධාරය වනුයේ තුවාලය සබන් යොදා හොඳින් සේදීමයි. ජලය ගලායන සේ ජලය වැඩි ප්‍රමාණයක් යොදාගෙන සේදීම උචිතම ක්‍රමයයි.
07. වස පානය කිරීම
මෙහිදී රෝගියාගේ සිරුර හැකි තරම් නිසලව තබා ගැනීමෙන් විෂ ශරීරය පුරා පැතිරීමේ වේගය අඩුකරගත හැකිය. වස වර්ගය ගැන අවබෝධයකින් තොරව වමනය කිරීමට පෙළඹවීමත් හොඳ නැති අතර, ඊට හේතුව සැර අම්ලයක් හෝ භෂ්මයක් නම් වමනය කරන විට පිළිස්සී අනතුරේ ස්වභාවය තවත් වැඩි වීමට හැකි වීමයි. මෙහිදී වස අඩංගු භාජනයද සමග රෝගී තැනැත්තා රෝහලට රැගෙන යෑම වඩාත් සුදුසුය.
- සහන් රසාංග