01) අල්ලපු ගෙදර
සිනමාව තුළ විකට චරිත රැසක්ම රඟපෑ ජෝ සිය විකට රංගනයේ කූටප්‍රාප්තිය සනිටුහන් කළේ 'අල්ලපු ගෙදර' චිත්‍රපටයෙන් බව සඳහන් කළ හැකිය. 'අඩීතු වීටු පෙන්' නම් දෙමළ චිත්‍රපටයේ 'සම්පූර්ණ' කොපියක් වුවද අල්ලපු ගෙදර චිත්‍රපටයේදී ජෝ තමන්ටම ආවේණික වූ අපූර්ව අනන්‍යතාවක් ප්‍රකට කළේය. 1965 එම්. මස්තාන් නිර්මාණය කළ එය අති සාර්ථක සිනමා පටයක් වූ අතර, ඒ සඳහා පූර්ණ ගෞරවය හිමි වියයුත්තේ 'එහි කපිල මල්කිරණ' චරිතය රඟපෑ ජෝට බව අල්ලපු ගෙදර චිත්‍රපටය නිෂ්පාදනය කළ සිනමාස් සමාගමේ අධිපති 'කේ. ගුණරත්නම්' පවා වරක් ප්‍රකාශ කර තිබිණි.
02) සාරවිට
1955 වර්ෂයේ දී 'දේවසුන්දරී' චිත්‍රපටයෙන් සිනමා රංගනයට පැමිණියද ජෝ තමන් විශිෂ්ට රංගන කුසලතාවක් ඇත්තෙකු බව පළමු වරට ඔප්පු කළේ 1965 වසරේ තිරගත වූ 'සාරවිට' චිත්‍රපටයෙනි. තිස්ස ලියනසූරිය විසින් අධ්‍යක්ෂණය කරන ලද එහි බමුණුසිංහ ආරච්චිලාගේ ගුණහාමි හෙවත් සාරයියා චරිතය නිරූපණය කළ ඔහු එම රංගනය වෙනුවෙන් මුල් වරට හොඳම නළුවා සම්මානයද දිනාගත්තේය.
03) තුංමං හන්දිය
1970 ඔක්තෝබර් 23 වැනිදා තිරගත වූ මහගම සේකරගේ 'තුංමං හන්දිය' චිත්‍රපටයද ජෝගේ අසහාය රංගන කුසලතාව විදහා දක්වන සිනමා නිර්මාණයකි. එහි ජෝ රඟපෑ අබිලිං චරිතය නිසාම එය 1970 OCIC සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය සම්මානයද දිනාගත්තේය.
04) වැලිකතර
1971 තිරගත වූ ඩී.බී. නිහාල්සිංහයන්ගේ වැලිකතර චිත්‍රපටය ජෝගේ විශිෂ්ටතම රංගනය ලෙස දැක්විය හැකිය. ඔහු එහි රඟපෑ දිප්තිලගේ මුදියන්සේලාගේ සුදු බණ්ඩා හෙවත් ගෝරිං මුදලාලි චරිතය ජෝ ලංකාවේ බිහි වූ හොඳම චරිතාංග නළුවා බව ඔප්පු කරන විශිෂ්ටතම සාධකය ලෙසද දැක්විය හැකිය. වැලිකතර ලාංකේය සිනමාවේද කඩඉමකි. එයට හේතුව එය මෙරට ප්‍රථම සිනමාස්කෝප් වෘත්තාන්ත චිත්‍රපටය වීමයි.
05) කොළඹ සන්නිය
'කොළඹ සන්නිය' ඔහු කළ විකට රංගන අතර විශිෂ්ටම රංගනයක් ලෙස දැක්විය හැකිය. අදටද ලාංකේය සිනමාවේ බිහි වූ අති විශිෂ්ට කොමඩි චිත්‍රපටයක් වන එය 1976 දී තිරගත වූ අතර, මනික් සන්ද්රසාග්රගේ අධ්‍යක්ෂණයකි. එහි ජෝ 'උස්පියල්ල ගෙදර අන්දිරිස්' හෙවත් අන්දරේ අප්පුහාමි' නමැති චරිතය රඟපෑවේය.
06) සිරිබෝ අයියා
1980 මැයි 16 වෙනිදා තිරගත වූ සුනිල් ආරියරත්නයන්ගේ 'සිරිබෝ අයියා' චිත්‍රපටයද ජෝගේ සිනමා දිවියේ විශේෂ සන්ධිස්ථානයකි. ඔහු එහි රඟපෑ සිරිබෝ හාමිගේ චරිතය වෙනුවෙන් 1981 ජනාධිපති සම්මාන උලෙළේදී හොඳම නළුවා සම්මානයද හිමි විය.
07) පුරහඳ කළුවර
2001 වසරේ තිරගත වූ ප්‍රසන්න විතානගේ විසින් නිර්මාණය කරන ලද 'පුරහඳ කළුවර' චිත්‍රපටය ජෝ සිය දිවියේ අවසන් සමයේදී දැක්වූ විශිෂ්ට රංගනයක් අඩංගු සිනමා පටයකි. එහිදී ඔහු රඟපෑ 'හින්නිහාමි' චරිතය තුළ දැක්වූ අතිදක්ෂ රංගන කුසලතාව නිසාම 1999 වසරේ පැවැති සිංගප්පූරු අන්තර්ජාතික චිත්‍රපට උලෙළේදී හෙතෙම හොඳම ආසියානු නළුවා වෙනුවෙන් පිරිනැමුණු රිදී තිර සම්මානයෙන්ද පිදුම් ලැබීය.
සමිත් බෝධිපක්ෂ