ජේසුස් වහන්සේ දේශනා කරන ඇතැම් කරුණු ශ්‍රාවකයන්ට තේරුම් ගැනීම පහසු කිරීම උදෙසා උන්වහන්සේ උපමා මගින් ඉගැන්වීම් සිදුකළහ. මේ උන්වහන්සේ දේශනා කළ උපමා අතරින් ජනප්‍රිය උපමා හතකි.
වපුරන්නා පිළිබඳ උපමාව
මෙහිදී උන්වහන්සේ වපුරන්නෙක් ගෙනා බීජ අතරින් කොටසක් මග දිගට වැටී කුරුල්ලන් කෑ බවද, තවත් කොටසක් ගල් සහිත තුනී පස් මත වැටී පැළවුවද ඒවා ජලය නොමැතිව වියළි ගිය බවද, තවත් කොටසක් කටු පඳුරුමත වැටී පැළවුවද ඒවා යටකර කටු පඳුරු වැවුණු බවද, සරු පසේ වැටුණු බීජ ඵල දරා සිය ගුණයකින් අස්වැන්න දුන් බවද පැවසූහ. උන්වහන්සේ එයින් පහදනු ලැබුවේ උන්වහන්සේගේ දේශනා විවිධ ශ්‍රාවකයන් අසා තේරුම් ගන්නා ආකාරයන්ය.
කිරිඳි පිළිබඳ උපමාව
තිරිඟු වැපුරු කෙතක තරහකරුවෙකු කිරිඳි වපුරා ගිය ආකාරයත්, කිරිඳි හා තිරිඟු එකට වැවුණද අස්වනු නෙළන කල පළමුව කිරිඳි කපා ඒවා දවාලන බවත් තිරිඟු කපා අස්වැන්න අටුවේ තැන්පත් කරන බවත් උන්වහන්සේ පැවසූහ. ඉන් යුගාන්තයේදී හොඳ හා නරක ස්වර්ග රාජ්‍යයට තෝරාගැනීම පිළිබඳ අදහසක් ලබාදුන් සේක.
යහපත් සමරිතානුවරයා පිළිබඳ උපමාව
මෙම උපමා කතාවේ සොරුන් විසින් වස්තුව කොල්ලකා තලාපෙලා මාවතක දමාගිය පුද්ගලයෙකුට ඔහුගේ ජාතියට අයත් විවිධ තරාතිරම් වල අය නොසලකා ගිය අයුරු හා කුලයෙන් පහත් සමරිතානුවරයෙකු කළ උපස්ථාන පිළිබඳවත් සඳහන් වේ. ඉන් තමාටත්, දෙවියන්ටත්, අසල්වැසියන්ටත් ප්‍රේම කළයුතු ආකාරයත් අසල්වැසියා හඳුනා ගන්නා ආකාරයත් උගැන්වූ සේක.
මාළු දැල පිළිබඳ උපමාව
ස්වර්ගය, මුහුදේ හෙලූ මාළු දැලකට උපමා කරමින් උන්වහන්සේ දේශනා කළේ මුහුදේ හෙලූ දැලට මාළු අසුවූ පසු ගොඩට ගන්නා ධීවරයන් හොඳ හා නරක මාළු වෙන්කරන්නාක් මෙන් යුගාන්තයේදී දමිටුන් හා අදමිටුන් වෙන්කර අදමිටුන් ගින්නට හෙළන බවයි.
නැතිවූ බැටලුවා පිළිබඳ උපමාව
බැටලුවන් සියදෙනෙකු බලාගත් ගොපල්ලෙකු බැටලුවන් 99ක් සිටියදී නැතිවූ එක් බැටලුවෙකු සොයා ගමන් කර ඌ සොයා ගත්පසු ප්‍රීතියෙන් පිනායන බව පැවසූහ .ඉන් උන්වහන්සේ සිල්වතුන් 99 දෙනෙකුට වඩා මනස්තාප වන එක් පව්කරුවෙකු ගැන ස්වර්ගයේ ප්‍රීතිය ඇතිවන බව වදාළහ.
අබ ඇටය පිළිබඳ උපමාව
කුඩා අබ ඇටයක් පැළවී කුරුල්ලෙකු අතුවල වසන තරම් විශාල වන්නාක් මෙන් ඉතා කුඩා විශ්වාසයක් මහත් ඵල දරන අයුරෙන් වැඩෙන බව මින් උන්වහන්සේ වදාළහ.
වැන්දඹුව හා විනිසුරුවරයා පිළිබඳ උපමාව
අධෛර්ය නොවී නොකඩවා යාච්ඤා කිරීම පිළිබඳව ඉගැන්වීම සඳහා උන්වහන්සේ මෙම උපමාව දේශනා කළහ. දෙවියන්ටවත් බිය නොවූ මිනිසුන්ට ගරුනොකළ විනිසුරුවරයෙකු ඉදිරියේ යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා කන්නලව් කළ වැන්දඹුවකගේ කරදරයෙන් මිදීමට යුක්තිය ඉටුකරදීමට විනිසුරුවරයා තීරණය කළ බවත් ඔහු එසේ කළා නම් උදේ හවා යදින්නන්ට යුක්තිය ඉටුකිරීමට දෙවියන් වහන්සේ පසුබට නොවන බවත් මින් ප්‍රකාශ කළහ.