1) අණබෙර කෝලම
මෙම චරිතය 'පනික්කලේ' යන නාමයෙන්ද හැඳින්වේ. රජු සහ බිසව සබයට පැමිණෙන බව දන්වා සිටිනුයේ ඔහුය. අණබෙර කෝලම සඳහා යොදාගන්නා වෙස් මුහුණෙහි හිස වටා තලප්පාවක්ද, මුහුණ පුරා සුදු රැවුලක්ද වේ.
2) රජු සහ බිසව
රජතුමා සහ බිසව සමග වාමන සලන්නියක හා මුතුකුඩය ඔසවන සේවකයාද සබයට පැමිණෙති. මෙම චරිතය රඟ දක්වන පිරිස වැඩි වේලාවක් සබයේ රැඳීනොසිටියි. එයට හේතුව වන්නේ ඔවුන්ගේ වෙස්මුහුණු විශාල වීමත්, ඒවා බරින් වැඩිවීමත්ය. රජු සහ බිසව සබයේ සිටින බව ඇඟවීම සඳහා ඔවුන්ගේ වෙස්මුහුණු සබයේ තබා ඔවුහු එතැනින් පිටව යති.
3) ජස කෝලම හා ලෙන්චිනා කෝලම
මෙය 'පේඩි' කෝලම ලෙසද හඳුන්වයි. රජු සහ බිසව සබයට පැමිණීමට පෙර සබය වටා තිර ඇදීම, උඩුවියන් ඇදීම හා පාවඩ එලීම මොහුට පැවරී ඇති කාර්ය වේ. ඝනව පිහිටි උඩු රැවුලකින්, විශාල නාසයකින් හා ඉදිරියට නෙරා ගිය ඇස් දෙකකින් යුතුව මෙම වෙස්මුහුණ නිර්මාණය කර තිබේ. ජසයාගේ බිරිඳ ලෙන්චිනාය.
4) මුදලි කෝලම
මුදලි සබයට පැමිණෙන විට ඔහුගේ මෙහෙකරුවා වන හෙන්චාද සබයට පැමිණෙයි. හෙන්චා ඉතා හාස්‍ය උපදවන චරිතයක් ලෙස දැක්විය හැකිය. මුදලි ගමන්බිමන් යන සෑම අවස්ථාවකදීම මුදලිගේ හිසට තල් අත්තක් අල්ලාගෙන ඔහුද පිටුපසින් ගමන් කරයි.
5) පොලිස් කෝලම
පොලිස් කෝලමට පස්දෙනෙක් පමණ සහභාගි වෙති. ඔවුහු කළු කෝට් එකක්, කලිසමක් හා කළු තොප්පියක් සහිත වෙස්මුහුණකින් සැරසී සිටිති. ඇතැම් පොලිස් නිලධාරීන්ගේ අකටයුතුකම් හා ක්‍රියාකලාපයන් විවේචනය කිරීම මෙමගින් සිදුවෙයි.
6) ආරච්චි කෝලම
ආරච්චි සමග 'ලියනප්පු' නම් සේවකයාද සබයට පිවිසෙයි. මෙම කෝලමෙන් සාමාන්‍ය ජනතාවට ආරච්චිගෙන් සිදුවන අසාධාරණකම් නිරූපණය කරයි. ලියනප්පුගේ එක් අතක පුස්කොළ පොතක්ද අනෙක් අතෙහි පන්හිඳක්ද දක්නට ලැබේ.
7) නොංචි අක්කා කෝලම
මෙම කෝලම් චරිතය ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රියත්වයට පත්වූ චරිතයකි. නොංචි අක්කා වයස්ගත තැනැත්තියක වුවද ඇය හැසිරෙන්නේ තරුණියක ලෙසය. නොංචි අක්කාගේ චරිතය පිළිබඳ හැඳින්වෙන්නේ මේ ආකාරයටය.
“කටේ දත් වැටෙමින
කබත්, කුණුකෙළත් පෙරමින
ගතත් වෙව්ලාගෙන
නොංචි අක්කා ඒය දුවගෙන”