නිධානය
1972 පෙබරවාරි 03 වැනිදා තිරගත වූ 'නිධානය' මෙරට සිනමාවේ එදා මෙදාතුර බිහි වූ විශිෂ්ටතම චිත්‍රපට කිහිපය අතර පෙරමුණේ පසුවෙයි. ඉතාලියේ වැනිස් ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේදී රජත සිංහ සම්මානය ලැබූ 'නිධානය', ප්‍රංශයේ ‘සිනේමතෙක්’ ආයතනය විසින් ලෝක සිනමාවට වසර 100ක් පිරීම නිමිත්තෙන් 1995 දී ප්‍රකාශයට පත්කරන ලද ලෝක සිනමාවේ හොඳම චිත්‍රපට 100 අතරටද එක්විය. එසේම 1999 දී කොරියාවේ පැවැති 04 වැනි බූසාන් අන්තර්ජාතික චිත්‍රපට උලෙළේ 20 වැනි සියවසේ ආසියාවේ නිර්මාණය වූ හොඳම චිත්‍රපට 13 න් එකක් ලෙස ද ‘නිධානය’ නම් කළේය. සිලෝන් තියටර්ස් වෙනුවෙන් ඊ. ඇන්තනි පිල්ලේ නිෂ්පාදනය කළ එහි තිරරචනය ආචාර්ය තිස්ස අබේසේකරයන් විසිනි.
ගම් පෙරළිය
1963 දී තිරගත වූ ගම්පෙරළිය ලාංකේය සිනමාවේ ගීත රහිත පළමු චිත්‍රපටය මෙන්ම අන්තර්ජාතික සම්මානයක් ලැබූ ප්‍රථම චිත්‍රපටයද වෙයි. 1965 දී පැවැති 05 වැනි නවදිල්ලි චිත්‍රපට උලෙළෙහිදී ‘රණමයුර' සම්මානයෙන් පිදුම් ලැබූ එය 1966 මෙක්සිකෝවේදී පැවැත්වුණ ලෝක චිත්‍රපට උත්සව පිළිබඳ 08 වෙනි සමාලෝචනයේදී ‘ගෝල්ඩන් හෙඩ් ඔෆ් ප්ලෙන්ක්’ සම්මානය හිමි විය. එමෙන්ම 1964 දී මුල් වරට පවත්වන ලද සරසවි සම්මාන උලෙළෙහිදී සම්මාන රැසක් දිනාගැනීමටද ගම් පෙරළිය සමත් විය.
යුගාන්තය
'යුගාන්තය' චිත්‍රපටය 1985 වර්ෂයේදී තිරගත වූවකි. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ තුන් ඈඳුතු නවකතාවක් පාදක කරගනිමින් එනමින්ම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් නිර්මාණය කරන ලද චිත්‍රපට ත්‍රිත්වයේ අවසන් චිත්‍රපටයයි. මෙහි මංගල දර්ශනය 1985 රුසියාවේ පැවැති 14 වැනි මොස්කව් අන්තර්ජාතික චිත්‍රපට උලෙළෙහිදී පැවැත්වීම සුවිශේෂීය. 'යුගාන්තය' එම වසරේ ජනාධිපති සම්මානයෙන්ද පිදුම් ලැබීය. ගාමිණි ෆොන්සේකා, රිචඩ් ද සොයිසා, රමණි බර්තොලමියුස් සහ වික්‍රම බෝගොඩ ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වූහ.
අහසින් පොළොවට
අහසින් පොළොවට (White flowers for the dead) චිත්‍රපටය තිරගත වූයේ 1978 දෙසැම්බර් 15 වැනිදාය. කයිරෝ අන්තර්ජාතික සිනමා උලෙළේදී තුන්වැනි ලෝකයේ හොඳම චිත්‍රපටයට හිමි ඇග්නටන් සම්මානය දිනාගත් %අහසින් පොළොවට^ චිත්‍රපටය, මෙරට මුල්ම ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී හොඳම අධ්යක්ෂණයට හිමි සම්මානය ඇතුළු සම්මාන රාශියක්ද දිනාගත්තේය. එය තිරගත වූයේ 1979 දීය. OCIC 06 වැනි උත්තමාචාර උලෙළේදී සම්මාන 05 ක් දිනාගැනීමට එය සමත් විය. අයිලින් සිරිවර්ධනගේ නවකතාවක් ඇසුරින් නිෂ්පාදිත මෙම චිත්‍රපටය සුමති චිත්‍රපට වෙනුවෙන් යූ.ඩබ්. සුමතිපාල මහතා විසින් නිෂ්පාදනය කරන ලද අවසන් චිත්‍රපටයද වෙයි.
රන්සළු
රන්සළු (The Yellow Robe) චිත්‍රපටයද ආචාර්ය පීරිසුන්ගේ තවත් විශිෂ්ට චිත්‍රපටයකි. 1967 දී තිරගත වූ එය, එම වසරේදීම කෝර්ක් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ රිදී කුසලානය දිනාගත් අතර, 1969 දී ඉන්දියාවේ පැවැති නවදිල්ලි චිත්‍රපට උලෙළේදී ගාන්ධි සම්මානය හිමි කරගත්තේය. 1968 දී සරසවිය සහ ජනතා පුවත්පත් සංවිධානය කළ 05 වැනි චිත්‍රපට උලෙළේදී, 'රන්සළු' චිත්‍රපටයට සරසවි සම්මාන තුනක්ද, විශේෂ සරසවි තිළිණ දෙකක්ද හිමිවිය. එම වසරේම විචාරක සම්මාන උලෙළේදී එය සම්මාන තුනක් දිනාගත්තේය. එමෙන්ම ස්විට්සර්ලන්තයේ පැවැති ආසියානු බෞද්ධ චිත්‍රපට උලෙළට ශ්‍රී ලංකාව නියෝජනය කළ එකම චිත්‍රපටය වන්නේද එයයි.
පිංහාමි
ජාතික චිත්‍රපට සංස්ථාව වෙනුවෙන් කිසිදු මුදලක් අය නොකර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් විසින් නිර්මාණය කරන ලද විශිෂ්ට චිත්‍රපටයක් වුවද, නිසි ප්‍රචාරණ යාන්ත්‍රණයක් නොතිබූ නිසාම එය එතරම් ජනතාව අතර ප්‍රචලිත නොවීය. ඔහු අතින් ළමා චිත්‍රපටයක් තැනෙනු ඇතැයි සිතීම පවා විශ්මයජනක කාරණාවක් වුවද, ඒ කෙරෙහි ඔහු කෙතරම් සමත්වීද යත්, 1981 වසරේ 12 වැනි මොස්කව් අන්තර්ජාතික චිත්‍රපට උලෙළේ හොඳම ළමා චිත්‍රපටයට ‘ප්‍රවුඩා’ පුවත්පතින් පිරිනමන සම්මානයත්, හොඳම ළමා චිත්‍රපටයට පිරිනැමෙන අන්තර්ජාතික ළමා හා තරුණ චිත්‍රපට මූලස්ථානයේ (CISTE) සම්මානයත් දිනාගැනීමම ඊට සාක්ෂි දෙයි.
රේඛාව
ලාංකීය සිනමාවේ හැරවුම් ලක්ෂ්‍යයක් සටහන් කළ රේඛාව චිත්‍රපටය 1956 වසරේ දෙසැම්බර් 28 වෙනිදා පළමු වරට තිරගත විය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිසුන්ගේ පළමු වෘත්තාන්ත චිත්‍රපටයද වන රේඛාව මෙතෙක් කෑන්ස් චිත්‍රපට උලෙළේ 'පාම් ඩි ඕර්' (විශිෂ්ටතම චිත්‍රපටය) සම්මානය (1957) සඳහා නිර්දේශිත එකම චිත්‍රපටයද වෙයි. විලී බ්ලේක්ගේ විශිෂ්ට කැමරාකරණයෙන් හැඩ වූ මෙහි සංගීතය විශිෂ්ට සංගීතඥයෙකු වන සුනිල් සාන්තයන් විසිනි. චිත්රාගාරයෙන් බැහැරට කැමරාව රැගෙන ගොස් රූගත කළ පළමු ලාංකේය චිත්‍රපටයද වන රේඛාව, ඩිජිටල් තාක්ෂණය යටතේ සංරක්ෂණය කෙරුණු මෙරට පළමු සිනමා පටයද වෙයි.