ලෝකයේ වැළලී ගිය පුරාවෘත්තයන් රැසක් දිනෙන් දින වාර්තා වෙයි. ඒ අනුව සිදුකරන කැණීම් ඔස්සේ ගොඩගත් ඇතැම් වස්තූන්ගේ අතීතය වර්තමානයට ඉතිරි කරනුයේ ප්‍රශ්නාර්ථයකි. එවැනි යටගියාව සිතාගැනීමට තරම් දුෂ්කර පුරාවිද්‍යා සොයා ගැනීම් කිහිපයක් ලෝකයෙන් වාර්තා වේ. මේ එවන් අබිරහස් සොයා ගැනීම් 7කි.
01. අබිරහස් හිස්කබල්
ස්වීඩන් පුරාවිද්‍යාඥයන් පිරිසක් විසින් මීට වසර 8,000කට පමණ පෙර භූමදානය කළ මිනිසුන්ගේ, කාන්තාවන්ගේ, ළමයින්ගේ හා ළදරුවන්ගේ හිස්කබල් 11ක් සොයාගනු ලැබීය. මේවා ගල් යුගයේ යැයි විශ්වාස කරන අතර, ඇතැම් හිස්කබල් පුළුස්සා දමා ඇති අයුරුද නිරීක්ෂණය විය. මෙවැනි ම්ලේච්ඡ ක්‍රියාවක් කුමන කාරණයක් උදෙසා සිදුකළාද යන්න අදටත් ගැටලුවකි.
02. දඟර ගැසුණු කෞතුක වස්තු
රුසියාවේ කොෂිම්, නරාඩා හා බල්බන්යු ගංගා ආසන්නයේ හා උරාම් කඳු ආශ්‍රිතව තිබී 1991 වසරේදී දඟර ගැසුණු කෞතුක වස්තු කිහිපයක් සොයාගෙන තිබේ. මේවා වැඩි වශයෙන් තඹවලින් නිර්මාණය කර ඇති බවට පෙනීගිය අතර, ඇතැමුන් මෙය ගුවන්යානා කොටස් යැයි පවසමින් නිෂ්ප්‍රභ කරන්නටද විය. නමුත් මොස්කව් විශ්වවිද්‍යාලය පවසන්නේ මෙය වසර 318,000ක් දක්වා පැරණි බවයි.
03. කොච්නෝ ස්ටෝන්
ස්කොට්ලන්ත පුරාවිද්‍යාඥයන් පිරිසක් විසින් වසර 5,000ක් පමණ පැරණි කැරකෙන හැඩයක් ගත් ජ්‍යාමිතික සැරසිලි සහිත ගල් පුවරුවක් සොයාගන්නා ලදී. කොච්නෝ ස්ටෝන් ලෙස හඳුන්වන මෙය අඩි 43ක් හා අඩි 26ක ප්‍රමාණයෙන් යුක්තය. මෙහි ගල තුළට කාවැදුණු අර්ධ ගෝලාකාර කොටස් හා මුදු ආකාර හැඩයන්ගෙන් යුක්ත විය. මෙහි තේරුම අදටත් කිසිවෙකුත් නොදන්නා බවට වාර්තා වේ.
04. බොල්ෂෝයි සයාට්ස්කි ලාබ්රින්ත්ස්
බොල්ෂෝයි සයාට්ස්කි යනු රුසියාවේ වෙරළ ආසන්නයේ පිහිටි කුඩා දූපතකි. පුරාවිද්‍යාත්මක භූමියක් වන මෙය හඳුන්වනු ලබන්නේ 'බොල්ෂෝයි සයාට්ස්කි ලාබ්රින්ත්ස්' නමිනි. ක්‍රිස්තු පූර්ව 30,000කට අධික ඉතිහාසයකට උරුමකම් කියන මෙය ගල් ගොඩවල් හා මැටියෙන් සෑදූ ගොඩනැගිලිවලින් යුක්ත වෙයි. මෙය කවුරුන් විසින් ඉදිකළේද යන්න තවමත් හඳුනාගෙන නැති අතර, මෙය අල්තාරයක් හෝ ශාන්තිකර්ම කළ ස්ථානයක් බවට විශ්වාස කරයි.
05. සුපර් හෙන්ජ්
බොහෝ දෙනෙකු දන්නා ස්ට්රෝන්හෙන්ජ් ආසන්නයේ ඇති මෙම සුපර් හෙන්ජ් නම් භූමිය යට වැළලී ගිය ස්මාරක සොයා ගත්තේය. මෙම භූමියෙන් ස්ට්රෝන්හෙන්ජ් මෙන් අතිවිශාල ගල් 90ක් පමණ සොයාගෙන තිබේ. රේඩාර් භාවිතයෙන් සිදුකළ පරීක්ෂණ මගින් සොයාගත් මෙම සුපර් හෙන්ජ් කුමක් සඳහා භාවිත කරාද යන්න ගැටලුවකි. මෙම ගල් සිතාමතා භූමියේ තැන්පත් කරන්නට ඇති බවට සැක පහළ වී තිබේ.
06. ලෝන්ග්යු ගුහා
චීනයේ ලොන්ග්යු ගම්මානයේදී 1992 වසරේදී ගුහා විශේෂයක් සොයා ගැනිණි. මිනිසුන් විසින් නිර්මාණය කළ මෙම ගුහා වරෙක ජලයෙන් යටවිය. අඩි 100ක් පමණ ගැඹුරින් පිහිටන මෙම ගුහා සංකීර්ණයේ ගුහා එකිනෙකට සම්බන්ධ නැති අතර, තුනී බිත්තිවලින් වෙන් වී ඇත. ක්‍රිස්තු පූර්ව 200කට පෙර නිර්මාණය වූ බව සැලකෙන මෙය පිළිබඳ කිසිදු වාර්තාවක් නොමැත.
07. පුමා පුන්කු ගල් කැටයම්
බොලිවියාවේ පුමා පුන්කු නම් භූමියෙන් සොයාගත් විශාල කැටයම් සහිත ගල්, කුමන යුගයේ නිර්මාණය වූයේද යන්න ගැටලුවකි. ආන්දෝලනයකට තුඩුදුන් මෙම කැටයම් සහිත ගල් ක්‍රිස්තු වර්ෂ 500 හෝ 600 දී හෝ ක්‍රිස්තු පූර්ව 15,000කට පෙර නිර්මාණය කර ඇතැයි සැලකේ. මෙසේ සියුම්ව කැපීමක් කෙසේ සිදුකළාද යන්න ගැටලුවක් මතුවී ඇති අතර, ඒ සඳහා දියමන්ති කපනයන් භාවිත කර ඇති බවට වාර්තා වේ.