(UPDATE) චීනයේ බීජිංහිදී පැවැත්වෙන ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ කුසලාන ශූරතා තරග වටයේ සිව්වැනි ස්ථානයෙන් සෑහීමට පත්වන්නට ශ්රී ලංකා කණ්ඩායම මීට සුළුවෙලාවකට පෙර සිදුවිය. ඒ ජපානය සමඟ තුන්වැනි ස්ථානය සඳහා පැවැති තරගයෙන් ලකුණු 24 - 19 ලෙස පරාජයවීම හේතුවෙනි. ඒ අනුව 2014 වසරේ පැවැති අදියර තුනෙහිම ශ්රී ලංකාව සිව්වැනි ස්ථානය හිමිවිය.
පළඟ අනුශූරතාව ශ්රී ලංකා කාන්තා කණ්ඩායමට
ශ්රී ලංකා කාන්තා කණ්ඩායම අද (19දා) මුහුණදුන් පළඟ ශූරතා අවසන් තරගයෙන් තායිලන්තය හමුවේ ලකුණු 25-05 ක් ලෙස පරාජයවීමට සිදුවිය.
හොංකොං 28 - ශ්රී ලංකාව 00
චීනයේ බීජිංහිදී පැවැත්වෙන ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ කුසලාන ශූරතා අවසන් පූර්ව තරගයෙන් ප්රබල හොංකො කණ්ඩායම හමුවේ ලකුණු 28-00 පරාජයක් අත්විඳීමට ශ්රී ලංකා කණ්ඩායමට මීට සුළු වේලාවකට පෙර සිදුවිය.
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායම ජපානය සමගින් තෙවැනි ස්ථානයට තරග කිරීමට සිදුවෙයි. එම තරගය ශ්රී ලංකා වේලාවෙන් ප.ව 3.10 පමණ ආරම්භවීමට නියමිතය. මීට පෙර හොංකොං හා මැලේසියාවේ පැවැති මෙම තරගාවලියේ පළමු හා දෙවැනි අදියරවලදී ශ්රී ලංකාවට සිවුවැනි ස්ථානයෙන් සෑහීමට පත්වන්නට සිදුවිය.
ඊයේ (18දා) ආරම්භ වූ මෙම තරගාවලියේ මූලික වටයේ බී කාණ්ඩයෙන් තරග කළ ශ්රී ලංකා කණ්ඩායම මුහුණදුන් පළමු තරගයෙන් කසකස්තාන කණ්ඩායම ලකුණු 31-12 ක් ලෙස පරාජය කිරීමට සමත්වූ අතර, එම කාණ්ඩයේම දෙවැනි තරගයෙන් මැලේසියාව ලකුණු 26-10 ක් ලෙස පරාජය කිරීමට සමත් විය.
එම ජයග්රහණත් සමග කුසලාන ශූරතාව අර්ධ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්රී ලංකාවට හැකිවූ අතර, එහිදී ලකුණු 22-12 ක් ලෙස පිලිපීනය පරාජය කිරීමට සමත් විය. එම ජයග්රහණයත් සමග ශ්රී ලංකා කණ්ඩායම හොංකොං සමගින් තරග වැදීමට අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගත්තේය.
මේ වනවිට ශ්රී ලංකා කාන්තා කණ්ඩායමද පළඟ ශූරතා අවසන් තරගයට සුදුසුකම් ඇති අතර, ඔවුන් ශ්රී ලංකා වේලාවෙන් ප.ව 1.24 තායිලන්තය සමගින් එම තරගයට මුහුණ දීමට නියමිතය.
මූලික වටයේ එක්ස් කාණ්ඩයෙන් තරග කළ ශ්රී ලංකා කාන්තා කණ්ඩායම මුහුණුදුන් පළමු තරගයෙන් කසකස්තානය හමුවේ ලකුණු 22-00 ලෙස පරාජය වූ අතර, දෙවැනි තරගයෙන් හොංකොං හමුවේ ලකුණු 24-07 ක් ලෙස පරාජය විය. නමුත් එම කණ්ඩයේ මුහුණ දුන් අවසන් තරගයෙන් සිංගප්පූරුව ලකුණු 15-14 ක් ලෙස තියුණු ජයක් ලැබීමට සමත් විය. නමුත් පළමු තරග දෙක පරාජයවීම හේතුවෙන් ඔවුන්ට කුසලාන ශූරතාව මගහැරුණු අතර පළඟ තරගයට සුදුසුකම් ලබාගැනීමට හැකිවිය. ඒ අනුව පැවැති එම වටයේ අවසන් පූර්ව තරගයෙන් පිලිපීනය පරාජය කර ලකුණු 42-00 ජයක් ලැබීමට සමත්විය.