පියයුරු පිළිකාව ලොව පුරා මෙන්ම ලංකාවේද කාන්තාවන් අතර බහුලවම දැකගත හැකි පිළිකාව වේ. මෙරට වසරකට නව පියයුරු පිළිකා රෝගීන් 3000-3500ත් අතර පිරිසක් හඳුනා ගැනේ. එනම් දිනකට නව පියයුරු පිළිකා රෝගීන් 9ත් 10ත් අතර සංඛ්‍යාවක් මෙරටින් වාර්තා වන තත්ත්වයක් පෙන්නුම් කරයි. අප රටේ පියයුරු පිළිකාවන්ට ගොදුරු වන කාන්තාවන් සම්බන්ධයෙන් අවධානය යොමු කරන විට ඉන් වැඩි පිරිසක් අවරුදු 50ට වැඩි අය බව වාර්තා වේ. පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ පියයුරු පිළිකා රෝගීන්ගේ ගණන ක්‍රමයෙන් වැඩි වෙමින් පවතී. මේ නිසාම පියයුරු පිළිකා පිළිබඳ මේ මාසය පුරාවට දැනුවත් වීම ඉතාම වටී. මේ පියයුරු පිළිකා මාසය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී පැවැති මාධ්‍ය හමුවේදී විද්වතුන් දැක්වූ අදහස්ය.
දවසකට අවම වශයෙන් පියයුරු පිළිකා රෝගීන් දහදෙනෙකුවත් මෙරටින් හොයාගන්න ලැබෙනවා - අවිස්සාවෙල්ල දිස්ත්‍රික් මහ රෝහලේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය ජාලිය ජයසේකර
ලෝකේ වගේම ලංකාවෙත් පිළිකා රෝගීන් අතර බහුලම පිළිකාව වන්නේ පියයුරු පිළිකාවයි. අපිට දවසකට අවම වශයෙන් පියයුරු පිළිකා රෝගීන් දහදෙනෙකුවත් හොයාගන්න ලැබෙනවා. මේ අපි කාගේ හෝ මව, දියණිය හො සහෝදරිය විය හැකියි. මේ නිසා අපි හැමෝම මේ පිළිබඳ අවධානය යොමු කර සමාජයට පණිවිඩයක් රැගෙන යා යුතුයි. මොකද අපිට මේ පිළිකාව මුල් අවස්ථාවේදී හඳුනා ගැනීමට හැකියාවක් ලැබුණහොත් බොහෝ දෙනාගේ ජීවිත බේරාගන්න පුළුවන්කමක් ලැබෙනවා. පියයුරු පිළිකා අවදානම පිළිබඳව මම ප්‍රධාන කොටස් දෙකක් අනුව කතා කරන්න කැමතියි.
වෙනස් කළ නොහැකි අවදානම් සාධක
ස්ත්‍රී පුරුෂ බව - පියයුරු පිළිකාවක් ඇති වීමට ඇති ලොකුම අවදානම වනුයේ ස්ත්‍රියක් ලෙස උපත ලැබීමය.
එහි සම්භාවිතාව ස්ත්‍රීන් සියයකට පුරුෂයන් එක් අයෙකු ලෙස දැක්විය හැකිය. මේ නිසා පුරුෂ පක්ෂයටත් පියයුරු පිළිකා වැලඳීමේ අවදානමක් පවතී.
වයස - වෙනත් බොහෝ පිළිකා සඳහා මෙන්ම පියයුරු පිළිකා වැලඳීමේ අවදානම වයසත් සමග වැඩි වේ. ලංකාවේ අපිට වැඩිම පියයුරු පිළිකා රෝගීන් හමුවන්නේ අවුරුදු 53දී පමණ.
පවුල් ඉතිහාසය - මවගේ හෝ පියාගේ පාර්ශ්වයේ ලේ ඥාතීන්ට පියයුරු පිළිකා වැලඳී තිබේ නම් අවදානම වැඩි වේ.
ජාතිය - සුදු හම සහිත පුද්ගලයන්ට පියයුරු පිළිකා වැලඳීමේ අවදානම ඉතා ඉහළය. ඒ නිසාම යුරෝපිකයන් අතර මෙම පිළිකා වැලඳීමේ ඉහළ හැකියාවක් පවතී.
ඉතා අඩු වයසකදී වැඩි විය පැමිණීම - කුඩා වයසේදී මල්වර වී ආර්තවහරණය වැඩි වයසකදී සිදු වීම නිසාත් මේ අවදානම ඉහළ යා හැකිය.
ඊස්ට්‍රජන් හෝර්මෝනයට වැඩි වශයෙන් නිරාවරණය වීම-
( යම් රෝගයකට හෝ යම් හේතුවක් නිසා ඊස්ට්‍රජන් හෝමෝනය පෙති වශයෙන් ලබා ගැනීම නිසා මෙය සිදු විය හැකිය)
යම් රෝගාබාධයකට ප්‍රතිකාර ලෙස විකිරණ ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවීම - ජීවිතය රැක ගැනීම සඳහා විකිරණ ප්‍රතිකාර ලබා ගැනීමට වෛද්‍යවරුන් නිර්දේශ කළ අවස්ථාවක පපු ප්‍රදේශයට විකිරණ ප්‍රතිකාර කිරීම හේතුවෙන් පියයුරු පිළිකාවක් ඇති වීමේ අවදානමක් පවතී.
එක් පියයුරක පියයුරු පිළිකාවක් හට ගැනීම - මේ හේතුව නිසාවෙන් අනෙක් පියයුරේද පිළිකාවක් හට ගැනීමට හැකියාවක් පවතී. තවද ඩිම්බකෝෂගත පිළිකාවක් වැලඳුණු කාන්තාවකටද පියයුරු පිළිකාවක් ඇති වීමේ හැකියාවක් ඇත.
වෙනස් කළ හැකි අවදානම් සාධක
- තරබාරු බව
- ශාරීරික ව්‍යායම් නොමැතිකම
- දුම්වැටි හා මද්‍යසාර භාවිතය
- අයහපත් ආහාර රටාව
- මේදය බහුල ආහාර ගැනීම
මෙලෙස කොටස් දෙකකට කතා කරද්දී පියයුරු පිළිකා අවදානමෙන් ආරක්ෂා වන සාධකත් මෙලෙස දැක්විය හැකිය.
දරුවන් ලැබූ මවක වීම - (දරුවන් වැඩි ගණනක් බිහි කිරීම නිසා අවදානම පහළ යයි).
දරුවන් හට දීර්ඝකාලීනව මවු කිරි ලබාදීම
පියයුරු පිළිකාවක් කලින් හඳුනා ගැනීම ඉතාම වැදගත් වේ. ඒ නිසා ස්වයං පියයුරු පරීක්ෂාවන් සිදු කිරීම ඉතාම වැදගත් වේ. මන්දයත් කලින් හඳුනා ගැනීමේදී ප්‍රතිකාර හරහා පිළිකාව සුව කරගැනීමේ හැකියාවක් පැවතීමයි. ඒ අනුව දින 28කට වරක් ක්‍රමානුකූලව ඔසප් චක්‍රය සිදුවන කාන්තාවක් නම් ඔසප් වීම සිදුවී දින පහත් දහයත් අතර දිනකදී ස්වයං පියයුරු පරීක්ෂාවක් සිදු කිරීම ඉතා වැදගත් වේ. ගෙදර තිබෙන වැඩ කටයුතුවල අධික බව හේතුවෙන් කාන්තාවන් මේ පරීක්ෂාව අමතක කරයි. නමුත් මේ පරීක්ෂාව ඉතාම වැදගත් පරීක්ෂාවක් බැවින් කැලැන්ඩරයේ දින ලකුණු කරගෙන මෙම පරීක්ෂාවන් සිදු කර ගැනීම ඉතා වැදගත් වේ.
ඒ වගේම අපේ රටේ පියයුරු පිළිකාවේ පළමු හා දෙවැනි මට්ටම්වලදී ප්‍රතිකාර සඳහා පැමිණෙනුයේ කාන්තාවන්ගෙන් 59෴ක් වැනි පිරිසකි. ඉතින් ඉතිරි 41෴ත් පෙර හඳුනා ගැනීමට හැකි නම් සාර්ථකව ප්‍රතිකාර කිරීමේ හැකියාවක් පවතී.
අක්‍රිය දුම්පානය සම්බන්ධයෙන් අපේ රටේ තියෙන්නේ ඉතාම ඛේදජනක තත්ත්වයක්
- දුම්කොළ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති මහාචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ
පියයුරු පිළිකාව පිළිබඳ කතා කරද්දී අවදානම් සාධකයක් ලෙස දුම්වැටි හා මද්‍යසාර භාවිතය පිළිබඳව කතාබහට ලක් වුණා. ඒ අනුව මත්වතුර හා දුම් ඉරීම ගැන ලංකාවේ තත්ත්වය කියනකොට කාන්තාවෝ අතරින් 3෴ක් වගේ පිරිසක් තමයි දුම්කොළ පරිහරණය කරන්නේ. මෙයින් සක්‍රිය දුම්පානය කරන තත්ත්වය ඉතාම අවම මට්ටමකයි තියෙන්නේ. ඔවුන්ගේ දුම්කොළ පරිහරණය සිදු වන්නේ දුම්කොළ හැපීම සම්බන්ධයෙනුයි. මත්පැන් පානය කිරීම ගැන බැලුවම යම් ප්‍රමාණයක් ඉන්නා බව පෙනී යනවා. නමුත් අක්‍රීය දුම්පානය සම්බන්ධයෙන් අපේ රටේ තියෙන්නේ ඉතාම ඛේදජනක තත්ත්වයක්. තමන් දුම්වැටියක් කටේ තබාගෙන උරන්නේ නැති වුණාට තමන්ගේ පවුලේ කෙනෙක් දුම් ඉරීම නිසා අවාසනාවන්ත ලෙස කාන්තාවන් අක්‍රිය දුම්පානයට නතු වෙනවා. ඒ අනුව 22෴ක් කාන්තාවන් නිවසේදී අක්‍රිය දුම්පානයට ගොදුරු වෙනවා. ඒ වගේම 11෴ක් කාන්තාවන් තමන්ගේ සේවා ස්ථානයේදී අක්‍රිය දුම්පානයට ගොදුරු වෙනවා. එය ඉතාම ලොකු ඛේදවාචකයක්. අපේ රටේ මෙහෙම දෙයක් සිදු වෙන්න බැහැ. මත්පැන් සම්බන්ධයෙන් අධිකරණ නඩු කටයුත්තක් තිබෙන බැවින් මේ ගැන මට වැඩි වශයෙන් කතා කරන්න බැහැ. නමුත් අපේ රටේ නීතියක් තිබුණා කාන්තාවන්ට මත්පැන් මිලදී ගන්න නොහැකියි යනුවෙන්. මේ නීතිය පසුගිය කාලයේ වෙනස් වුණා. නමුත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ නීතිය යළි ගෙනාවා. නමුත් අපේ කාන්තාවන්ගෙන් පිරිසක් මෙයට විරුද්ධව නඩු දැමුවා. මේ නිසා ගෙදර බුදුන් වන කාන්තාව රැක ගන්න අපි හැමෝම කටයුතු කළ යුතුයි. ඒ අනුව පියයුරු පිළිකාව වළක්වා ගන්න අපි එක මාසයක් තුළදී නොවෙයි අවුරුද්ද පුරාම කටයුතු කළ යුතුයි. මොකද අපේ රටේ පිරිමින්ට වඩා කාන්තා ජනගහනය වැඩියි. එහෙම බැලුවම දවසට දහදෙනෙක් අවම වශයෙන් පියයුරු පිළිකාවට ගොදුරු වෙනවා. ඒ නිසා අපි මවකගෙන් කිරි බී ලොකු මහත් වුණ අය හැටියට මේ අවදානම ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි. පියයුරු පිළිකාවක් වැලඳී ඇති බව හඳුනාගෙන අවසන් හෝර්මෝන තෙරපි ලබාදෙන තැන දක්වා වන ප්‍රතිකාර වෙනුවෙන් ආණ්ඩුව එක් පුද්ගලයෙකු වෙනුවෙන් ලක්ෂ 90ක් වැනි මුදලක් වියදම් කරනවා. එසේනම් 100෴ක් සුව කළ හැකි මේ පිළිකාව කල් තබා හඳුනා ගැනීම ඉතාම වැදගත්. ඒ නිසා මවක් රකිනවා වගේ මේ රටේ සියලුම කාන්තාවන් රැකගත යුතුයි. තවමත් අපේ රටේ පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇත්තේ එකක් පමණයි. මේ නිසා මම යෝජනා කරනවා රටේ හැම පළාතකටම එක මධ්‍යස්ථානයක් බැගින් ඇති කරන්නට අවධානය යොමු වෙලා තිබෙන අවස්ථාවක මේ වර්ෂයේදීවත් එවැනි මධ්‍යස්ථාන තව දෙකක්වත් ආරම්භ කළ යුතු යැයි යනුවෙන්. දුම්වැටි හා දුම්කොළ පිළිබඳව සාකච්ඡා කිරීමේදී ඒ පිටුපස සිටින්නේ බහුජාතික සමාගමක් බව අපි කවුරුත් දන්නා දෙයක්. දුම්වැටි හා දුම්කොළ සම්බන්ධයෙන් අපි විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා 2006 අංක 27 යන පනත යටතේ. අපි මද්‍යසාර ගැන කතා කරද්දී ඒ පිටුපස තිබෙන්නේ දේශපාලනමය අදිසි හස්තයන්ම පමණයි. පසුගිය පාර්ලිමේන්තු නියෝජිතයන් ගත්තම අපි දැක්කා ඔවුන්ගෙන් අඩක්ම පමණ බාර් ලයිසන් සතු කරගෙන සිටින ආකාරය. මෙවර පාර්ලිමේන්තුවට නව මුහුණු 81ක් පත්වී තිබෙනවා. ඒ අනුව අපි ඉතා උවමනාවෙන් හා අවධානයෙන් මොවුන් දිහා බලාගෙන ඉන්නවා. අපි මහ මැතිවරණයට පෙර වැඩසටහනක් ක්‍රියාත්මක කළා යම්කිසි අපේක්ෂකයෙක් දුම්කොළ හා මද්‍යසාරවලට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වෙනවා නම් මනාපය නොදෙන ලෙසට. මෙය ඇතැම් දිස්ත්‍රික්කවල ඉතා හොඳින් ක්‍රියාත්මක වුණා අපි දැක්කා. නමුත් ඇතැම් දිස්ත්‍රික්කවල අපි පැරදිලා ඔවුන් දිනුවා.
අපේ රටේ එක් දිනකට දුම්පානයට කෝටි 38ක් වැය කරනවා. දිනකදී කෝටි 57ක් වැය කරලා අරක්කු බොනවා. ඒ අනුව බැලුවම මේ රටේ මිනිස්සු දුම්වැටි, මත්පැන් වෙනුවෙන් පමණක් දිනකට කෝටි 95ක් පමණ වියදම් කරනවා. එහෙම තිබියදී අපේ රට දුප්පත් රටක් කියලා අපි කියනවා. දුම්වැටි, මත්පැන් ගැන කිව්වම අපේ රටේ ගම් 15,000ක් තිබෙනවා. එක ගමක් ගැන බැලුවොත් අවුරුද්දකට කෝට් 03ක් දුම්වැටි හා අරක්කුවලට වියදම් කරනවා. මෙයින් 1/3ක් ඉතුරු කර ගත්තොත් එක ගමකට රුපියල් කෝටියක් ඉතුරු කරගන්න පුළුවන්. මෙය තමයි මූල්‍යමය පැත්ත. අපිට ජාතික අධිකාරිය වශයෙන් තනිව ගමනක් යන්න අමාරුයි.
ඒ වගේම සුපිරි වෙළෙඳ සැල්වල අපි දකිනවා දුම්වැටි අලෙවි කරන්නට තබා තිබෙන්නේ කවුන්ටර ආසන්නයේ බව. ලෝක ප්රඥ්ප්තියක් තිබෙනවා එෆ්.අයි.සී.ටී නමින්. එහි පැහැදිලිව තිබෙනවා දුම්වැටි අලෙවි කරන ස්ථානය ප්‍රචාරය කරන්න බැහැ කියලා. අතීතයේ මාධ්‍යවල දුම්වැටි ප්‍රචාරණය සිදු වුණා. නමුත් පනත් හරහා ප්‍රචාරණය, ප්‍රවර්ධනය ආදිය දුම්වැටි හා මද්‍යසාර සම්බන්ධයෙන් තහනම් කර තිබෙනවා. නමුත් අපිට මේ අලෙවි කරන ස්ථානයේ ප්‍රචාරණය තවම වළක්වා ගන්න නොහැකි වී තිබෙනවා. මේ නිසා තමයි සුපිරි වෙළෙඳ සැලේ මෙන්ම සිල්ලර වෙළෙඳ සැල්වලත් මිල දර්ශන සහිත දැන්වීම් ප්‍රදර්ශනය වෙන්නේ. මෙය ක්‍රමයෙන් තහනම් කරන්න අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. සුපිරි වෙළෙඳ සැල්වල ටොෆි, චොකලට් හා දුම්වැටි කියන දේවල් එක මට්ටමේ අසුරා තිබෙන්නේ ඉතාම කූට උපක්‍රමයක් ලෙසටයි. දුම්වැටි මද්‍යසාර සියල්ලටම අපේ රටේ නීතියක් ගෙනාව අවුරුදු 21ට අඩු කිසිවෙකුට අලෙවි කරන්න බැහැ යනුවෙන්. නමුත් ඒවා වෙළෙඳ සැල්වල අසුරන්නේ ඇස් මට්ටමෙන් වගේම ළමුන් වැඩියෙන්ම කැමැති දේවල් සමගයි. මෙය අහම්බයෙන් සිදුවන දෙයක් නොවෙයි.