Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
තොරතුරු හංගන්න උත්සාහ කරන අමාත්‍යාංශයක්
ආණ්ඩුවේ සෑම අමාත්‍යාංශයකම සතිපතා ප්‍රගති සමාලෝචන රැස්වීම් පවත්වයි. ඇතැම් අමාත්‍යාංශවල එය සති දෙකකට වරක් සිදු කරයි. රටේ විදුලි බලය සම්බන්ධයෙන් කටයුතු කරන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචනය පසුගිය සතියේදී පවත්වා තිබුණි. විදුලි ඇමති, රාජ්‍ය ඇමති, ලේකම් වගේම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ද එම අවස්ථාවට සහභාගී වූ අතර ප්‍රගති සමාලෝචන සටහන් වාර්තාව නිකුත් වූයේ මේ සතියේදීය.
සාමාන්‍යයෙන් ප්‍රගති සමාලෝචනයේදී සාකච්ඡාවට ලක් කරන කරුණු එහි සටහන් කරන අතර එකම කරුණ තැන් කිහිපයක සටහන් කරන්නේ නැත. නමුත් විදුලි අමාත්‍යාංශයේ මෙවර ප්‍රගති සටහනේ එකම කරුණ දෙතැනක ලොකුවට සටහන් කර තිබුණි.
විදුලි ලේකම් වෙනුවට සංවර්ධන අධ්යක්ෂ අත්සන් කර ඇති විදුලිය ගැන කටයුතු කරන මේ අමාත්‍යාංශය ගැන විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයේ පළවන අසත්‍ය කරුණු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු බව එහි සඳහන් කර තිබෙන අතර මේ දුටු අමාත්‍යාංශයේ නිලධාරීන් අතර විවිධ කසුකුසු ඇති විය.
මෙම වාර්තාව නිකුත් වූයේ තොරතුරු සතිය ක්‍රියාත්මක වූ සතියේදීය. ආණ්ඩුවේ එක් පාර්ශ්වයක් ආණ්ඩුවේ තොරතුරු නිරාවරණය කිරීමට උත්සාහ කරන අවස්ථාවේදී තවත් සමහරෙකු තොරතුරු වසන් කිරීමට ගන්නා මේ උත්සාහය පිළිබඳ සාකච්ඡාවට ලක් වූ අතර අමාත්‍යාංශ සිදුකරන වැරදි පිළිබඳවද කතා කරන්නට විය.
"වැරදි තොරතුරු පළකරනවා නම් කරන්න ඕන ඇත්ත තොරතුරු ලබාදෙන එක. මේකේ එහෙම එකක් කරන්නේ නැහැනේ. ඇත්ත තොරතුරු දෙන්නෙත් නැහැ. අනිත් තොරතුරු දෙන්නෙත් නැහැ. අනික මොනවද දන්නේ නැහැ ඔය අසත්‍ය තොරතුරු. අපි නම් දන්න විදිහයට සත්‍යම සත්‍ය තොරතුරු පළවෙලා තිබුණේ. "යැයි ඔවුන් අතර සාකච්ඡාවක් ඇතිව තිබිණි. සත්‍ය තොරතුරු ලබාදෙනවා වෙනුවට ඒවා තවදුරටත් වසා තැබීමට තොරතුරු සතිය තුළම විදුලි අමාත්‍යාංශය ක්‍රියාකිරීම ඔවුන්ගේ විවේචනයට ලක් විය.
එයා උදේට කියන දේ නෙමෙයි දවල්ට කියන්නේ
වර්තමාන ආණ්ඩුවෙන් පීඩාවට පත්වූ අමාත්‍යාංශ ලේකම්වරුන්, මාධ්‍ය ආයතන ප්‍රධානීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු පිරිස එක්ව පිහිටුවාගෙන තිබෙන 'යහපාලන වින්දිතයෝ' සංවිධානයේ ප්‍රධාන පෙළේ කණ්ඩායමක් පසුගිය අඟහරුවාදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මුණගැසිණි. එදින මහින්ද උදෑසන ආහාරය ගත්තේ මෙම පිරිස සමගය. ආහාර ගන්නා අතරතුර පිරිස කතාබහ කළේ රටට උදාවී ඇති තත්ත්වය සම්බන්ධයෙනි.
ආර්ථික අර්බුදය, දේශපාලන පළිගැනීම්, නීතිය නැවීම, පාතාලය හිස එසවීම, ජාතික ආරක්ෂාව යනාදී කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි. ඒ අතර ආණ්ඩුව පෙරළීමේ උත්සාහය සම්බන්ධයෙන්ද අවධානය යොමු විය."සර් මොකක්ද මේ කතාවක් යන්නේ ඒකාබද්ධයයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එකතු වෙලා ආණ්ඩුවක් හදන්න යනවා කියලා?" එක් මාධ්‍ය ප්‍රධානියෙක් ඇසුවේය.
"මට එස්.බී. ඇවිත් ඔය ගැන කතා කළා. මම එස්.බී.ට කිව්වේ 'මොනවා කිව්වත් දැන් ඉන්න කෙනා අපට විශ්වාස නැහැ, එයා උදේට කියන දේ නෙමෙයි දවල්ට කියන්නේ. දවල්ට කියන දේ නෙමෙයි හවසට කරන්නේ. ඒ හින්දා ඔයාලා කට්ටිය එක්ක කතා කරලා ආණ්ඩුව හදන්න ඕන දේවල් කරලා මාව හමුවෙන්න, එතකොට මම ඒකාබද්ධ විපක්ෂය පැත්තෙන් කරන්න පුළුවන් දේවල් කරන්නම්' කියලයි" මහින්ද පැහැදිලි කළේය.
"ඒක නම් හොඳයි සර්. මොකද අපි කාටත් මතකයි පසුගිය මහමැතිවරණයේදී කරපු දේවල්. රෑ වැටුණු වළේ දවලුත් වැටෙන්න ඕන නැහැනේ" මාධ්‍ය ප්‍රධානියා පැවසීය.
මංගලට ආර්ථික අර්බුදයට වඩා වැඩ තියෙනවා
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම මහින්දගේ ප්‍රධානත්වයෙන් විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේදී එදින සවස පැවැත්විණි. එහිදී විශේෂ අවධානය යොමු කෙරුණේ රටට බලපා තිබෙන ආර්ථික අර්බුදය හමුවේ ආණ්ඩුව අනුගමනය කරන දියාරු ප්‍රතිපත්තිය සම්බන්ධයෙනි. මේ ගැන බන්දුල ගුණවර්ධන පක්ෂ නායකයන්ට පැහැදිලි කළේය.
"අද වෙනකොට පේන්න තියෙන්නේ ආණ්ඩුවට කිසිම දැක්මක් නැතිකම නිසා මේ තත්ත්වය උදා වෙලා තියෙන බවයි. ලෝක ආර්ථිකයේ අර්බුද කල්තියා දැකලා ඒවාට මුහුණදෙන්න සූදානම් වෙන එක තමයි ආණ්ඩුවේ මූලිකම කාර්යභාරය වෙන්න ඕන. එහෙම කළා නම් අද මේ වගේ අමාරුවේ වැටෙන්න ඕන නැහැ" බන්දුල විග්රහ කළේය.
"කොහෙද ඉතින් දැන් ඉන්න මුදල් ඇමතිලා ඉගෙන ගෙන තියෙන්නෙ වෙනවෙන දේවල්නේ. එයාට ආර්ථික අර්බුදයට මුහුණ දෙනවාට වඩා වැඩ තියෙනවනේ" කෙහෙළිය කීවේය. අනතුරුව කුමාර වෙල්ගම අදහස් දක්වමින්, "රටම ආර්ථික අර්බුදයකට වැටිලා තියෙන වෙලාවේ මංගල ඒවා ගැන කතා නොකර කාදිනල්තුමා මානව හිමිකම් ගැන කිව්ව එකක් අල්ලගෙන නටනවා. මේ වගේ මුදල් ඇමතිවරුන් ලෝකේ කොහෙවත් නැතුව ඇති" යැයි කීවේය.
මහින්දගේ නායකත්වයෙන් ඉදිරියේදී බිහිකෙරෙන ඒකාබද්ධ විපක්ෂය මූලික ආණ්ඩුවක් යටතේ මෙම ආර්ථික අර්බුදය හඳුනාගෙන එයට මුහුණ දීම සඳහා විශේෂිත සැලසුම් සැකසීමට විද්වත් කමිටුවක් පත්කෙරිණි. අනතුරුව අවධානය යොමු කෙරුණේ නිල කාලය අවසන් වූ මධ්‍යම පළාත් සභාව වෙතය.
මේ වනවිට පළාත් සභා හතරක නිල කාලය අවසන් වී ඇති අතර, තවත් සභා දෙකක නිල කාලය මෙම මාසය තුළ අවසන් වීමට නියමිතය. එහෙත් ආණ්ඩුව සීමා නිර්ණයට මුවා වී පළාත් සභා මැතිවරණය කල්දමමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ කතාබහට ලක්විය.
එහිදී තීරණය කෙරුණේ උතුරු මැද පළාතේ පැවැති ආකාරයට පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ ජනහමු මාලාවක් මධ්‍යම පළාතේද පැවැත්වීමටය. එහි සංවිධාන කටයුතු කෙහෙළිය, මහින්දානන්ද, දිලුම් සහ ලොහාන් වෙත පැවරිණි.
ඩිජිටල් විතරක් වුණාම එකෙක්වත් මාව ගණන් ගන්නේ නැහැ
සිරිකොත පක්ෂ කාර්යාලයේ සෑම සතියකම පැවැත්වෙන මාධ්‍ය හමුවට මෙවර සහභාගි වූයේ ඩිජිටල්, යටිතල පහසුකම් සංවර්ධන හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දුය. රුපියල අවප්‍රමාණය වීමට හේතු ගෙනහැර පාමින් රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ මාධ්‍ය හමුවේදී අනාවරණය කරමින් අමාත්‍යවරයා මෙහිදී අදහස් ප්‍රකාශ කළ පසු උදාවූයේ ප්‍රශ්න ඇසීමේ වටයයි.
එහිදී මාධ්‍යවේදියෙකු අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ, "ඩිජිටල් කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ගන්නා උත්සාහයන්වල ප්‍රතිඵල පෙනෙන්නට නැත්තේ යම්කිසි බාධාවක් නිසාද?" යනුවෙනි.
එයට පිළිතුරු දුන් අමාත්‍යවරයා, "මට තියෙන්නේ බාධාවක් නොවෙයි. මේ පිළිබඳ ජනතාවට හා අමාත්‍යාංශ නිලධාරීන්ට හැඟීමක් නැතිකමයි. මේ වගේ වැඩක් ආවම අනෙක් අමාත්‍යාංශවලට ඕන ඒක තනියෙම කරගන්න. මොකද මේවා ලාභ, අලාභ එක්ක සිදුවන ගනුදෙනුනේ. මොන ආණ්ඩුවක් ආවත් සමහර මිනිසුන්ට පොඩි ආසාවක් තියෙනවා ඒවා ඔවුන්ගේ අමාත්‍යාංශය හරහා කරගන්න. ඉන්දියාවේ ඩිජිටල් ඇමතිවරයා රවිශංකර් ප්‍රකාශ් ආවා ලංකාවට පසුගිය දිනක. ඔහු තමයි එහේ නීතිය සාමය හා ඩිජිටල් පිළිබඳ අමාත්‍යවරයා.
"ඉතින් මම කිව්වා නීතියත් ඔයාගේ අතේ, අධිකරණයත් ඔයාගේ අතේ, ඩිජිටලුත් ඔයාගේ අතේ ඒ නිසා කවුරුත් ඔයාට ඇඟිලි ගහන්න එන්නේ නැහැ, ඩිජිටල් විතරක් වුණාම එකෙක්වත් මාව ගණන් ගන්නේ නැහැ කියලා. මම කිව්වා ඩිජිටල් අමාත්‍යාංශය අගමැතිතුමා අතට ගන්න කියලා, එතකොට කවුරුත් ඇඟිලි ගහන්න එන්නේ නැහැනේ" යැයි කියා සිටියේය.
රට දැන් කප්පිත්තෙක් නැති නැවක් වගෙයි
ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම පසුගිය සතිඅන්තයේ උඩුගම්පොළ පිහිටි ප්‍රසන්න රණතුංගගේ නිවසට පැමිණියහ. සිසිර ජයකොඩි, නිමල් ලන්සා, ඩුලිප් විජේසේකර, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර යන මන්ත්‍රීවරු වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙය අවස්ථාවක් කරගත්හ.
"මේ වෙනකොට අපේ රට අයාලේ යන රටක් වෙලා ඉවරයි. ආණ්ඩුව අවධානය යොමු කරලා තියෙන්නේ රට හමුවේ තියෙන ප්‍රශ්නවලට උත්තර හෙවීමට වඩා තමන්ගේ බලය රැකගන්නේ කොහොමද කියන එක ගැනයි. රටේ සංවර්ධනය සම්පූර්ණයෙන් අඩාළ වෙලා. මිනිසුන්ට එදිනෙදා ජීවත් වෙන්න බැරි වාතාවරණයක් උදාවෙලා" ප්‍රසන්න පැහැදිලි කළේය.
"රට දැන් කප්පිත්තෙක් නැති නැවක් වගෙයි. ජනාධිපති පිරිවර අරගෙන එක රටකට යනකොට අගමැති තමන්ගේ පිරිවර අරගෙන තව රටකට යනවා. ඇමතිවරුනුත් ඒ දෙන්නට දෙවැනි නැහැ. ආර්ථික අර්බුදය නිසා රට යන්න එපා කියලා මිනිසුන්ගෙන් ඉල්ලන ඇමතිවරුන් පහුවදාම ප්ලේන් එකේ යන ගමන් සෙල්ෆි ගහනවා" සිසිර කීවේය.
"තවදුරටත් මේ ආණ්ඩුව ඉදිරියට ගියොත් අපට රටක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ හින්දා මේ ආණ්ඩුව පෙරළන එක අපේ මූලිකම අරමුණ විය යුතුයි" රණවීර පැවසූ අතර, ඩුලිප් සඳහන් කළේ “ආණ්ඩුවක් හදන්නන්වාලේ හදලා වැඩක් නැහැ. එහෙම වුණොත් අපටත් වෙන්නේ නිදහස් පක්ෂයයි, එක්සත් ජාතික පක්ෂයයි එකතු වෙලා හදපු ඊනියා ජාතික ආණ්ඩුවට වෙච්ච දේමයි" යනුවෙනි.
"2015 ඉඳලා මේ ආණ්ඩුවට එරෙහිව ගෙනගිය වැඩපිළිවෙළ හින්දා අපට රටේ ගොඩනැගුණු විශ්වාසයක් තියෙනවා. ඒ ජනතා විශ්වාසය ආරක්ෂා කර ගැනීම තමයි අපි මූලිකවම කරන්න ඕන දේ. එහෙම නොවුණොත් අපටත් වෙන්නේ ඊළඟ මැතිවරණයේදී ආයෙත් පරාජය වෙන්නයි" සාකච්ඡාවට එක්වූ ඉන්දික පවසා සිටියේය.
පාර්ලිමේන්තුවේ හිර නොකර ජනතාවට භාරදෙමු
ජර්මන් ජාතික දින උත්සවය බදාදා ජර්මන් තානාපති කාර්යාලයේදී පැවැත්විණි. ඒ සඳහා දේශපාලනඥයන්ටද ආරාධනා ලැබී තිබුණු අතර ජවිපෙ නියෝජනය කරමින් එයට සහභාගි වූයේ එහි ප්රචාරක ලේකම් විජිත හේරත්ය. උත්සවය අතරතුර එයට සහභාගිවීමට පැමිණ සිටි ජී.එල්. පීරිස්, විජිත හේරත්ට හමු විය.
"කොහොමද මන්ත්‍රීතුමා. විස්ස ගැන අලුත් තත්ත්වය මොකක්ද? ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකතුමාට ලැබුණා කියලත් කියනවා නේද? මොකක් වෙයි කියලද හිතන්නේ.” ජී.එල්. පීරිස් විජිතගෙන් විමසීය.
"ගොඩක් වෙලාවට ජනමත විචාරණයකට යන්න වෙයි කියලා හිතෙනවා” විජිත කීවේය. "ඔව්, මටත් එහෙම තමයි හිතෙන්නේ” ජී.එල්. පීරිස් කියා සිටියේය. "එහෙම වෙන එක හොඳයි. මොකද පාර්ලිමේන්තුවේ 2/3න් විතරක් සම්මත වුණොත් ආයේ වෙලාවක පාර්ලිමේන්තුවේ 2/3ක් අරගෙන විස්ස අහෝසි කරන්නත් පුළුවන්. නමුත් ජනමත විචාරණයකට ගිහින් ජනතාවගේ කැමැත්තෙන් සම්මත කරගත්තාම ආපහු හකුළන්න බැරිවෙනවා. අපි කියන්නෙත් මේක පාර්ලිමේන්තුවේ හිර කරන්නේ නැතුව ජනතාවට භාර දෙමු කියලයි” විජිත හේරත් කියා සිටියේය.
දුම්රිය ගාස්තු අවුල පාර්ලිමේන්තුවටත් යයි
ආණ්ඩුව දුම්රිය ගාස්තු වැඩිවීමේ ප්‍රතිශතය ලෙස ප්‍රකාශයට පත් කළේ 15%ක් බවය. නමුත් පසුගිය 01 වැනිදා දුම්රිය ගාස්තු වැඩිවීමෙන් පසුව ගාස්තු වැඩිවීම 15% කට වඩා අධික බව ජනතාව අතර කතාබහ ඇතිවන්නට පටන් ගත්තේය. මේ සම්බන්ධයෙන් ඇතැම් පිරිස් ජවිපෙ මන්ත්‍රීවරුන්ටද කියා සිටියේ කුමක් හෝ දෙයක් මේ සම්බන්ධයෙන් කරන ලෙසය. පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායකටද මේ සම්බන්ධයෙන් බොහෝ පිරිසක් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරවන ලෙස කියා තිබේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජවිපෙ නායක අනුර දිසානායක වෘත්තීය සමිතිවලින් විමසුවේ ගාස්තු පිළිබඳ තොරතුරු දැන ගැනීමටය. රඹුක්කනට තිබූ ගාස්තුව රු.70 සිට රු.105 දක්වා 50% කින්ද නාවලපිටිය ගාස්තුව රු.120 සිට රු.160 දක්වා 33% කින්ද නානුඔය ගාස්තුව රු.160 සිට රු.215 දක්වා 34% කින්ද වැඩිවී තිබෙන බව මෙහිදී වෘත්තීය සමිති උදාහරණ ලෙස පෙන්වා දුන්නේය.
"ආණ්ඩුව කොයිතරම් බංකොළොත් වෙලාද? අඩුම තරමේ ගාස්තුවක් වැඩි කළාම ඒ ප්‍රතිශතය නිවැරදිව ගණනය කරලා ජනතාව දැනුවත් කරන්නවත් මේ ආණ්ඩුවට බැහැ” අනුර දිසානායක කීවේය. මේ අතර මෙම ගාස්තු අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමටද බලාපොරොත්තුවෙන් සිටින බවද මෙහිදී අනුර ප්‍රකාශ කළේය.
බය වෙන්න එපා අපි ළඟ ක්‍රම තියෙනවා
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්රමුඛ වෘත්තීයවේදීන්ගේ ජාතික පෙරමුණේ නියෝජිතයෝ පිරිසක් පසුගිය බ්‍රහස්පතින්දා උදේ නෙළුම් මාවතේදී බැසිල් රාජපක්ෂ හමු වූහ. පවිත්‍රා, මහාචාර්ය චන්න ජයසුමන, වෛද්‍ය නිහාල් ජයතිලක ඇතුළු පිරිසක් පොදුජන පෙරමුණ වෙනුවෙන් මෙහිදී මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
"සර් අපි මේ ආවේ සිංගප්පූරු ගිවිසුම ගැන පොදුජන පෙරමුණත් එක්ක කතා කරන්න" වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශක සමන්ත ආනන්ද සාකච්ඡාවට මුලපුරමින් කතා කළේය. "ආ ඒක බොහොම හොඳයි. මේ වගේ දේවල් ගැන සාකච්ඡා කරන්න ඕන ඊළඟ ආණ්ඩුව භාර ගන්න පක්ෂය එක්ක තමයි* බැසිල් එසේ කියූ විට සාකච්ඡා සභාවෙන් අත්පොළසන් සහිත ප්‍රතිචාරයක් ලැබුණි.
"සිංගප්පූරු ගිවිසුමේ අන්තර්ගතයට වගේම මේ ගිවිසුම හදපු විදිහටත් අපි විරුද්ධයි." වෛද්‍ය සමන්ත ආනන්ද තවදුරටත් පැහැදිලි කරන විට බැසිල් මුළු සිංගප්පූරු ගිවිසුමම ඇතුළත් විශාල පොතක් තමන්ගේ පොත් රාක්කෙන් එළියට ගත්තේය. එම අවස්ථාවට එක්ව සිටි වරලත් ගෘහ නිර්මාණ ශිල්පියෙකු සඳහන් කළේ "මේක වෘත්තිකයන්ට විතරක් අදාළ ප්‍රශ්නයක් නෙමෙයි. සිංගප්පූරු ගිවිසුම රටේ හැමෝටම අදාළ බරපතළ ජාතික ප්‍රශ්නයක්" බවයි.
"ඔබතුමන්ලාගේ මැදිහත්වීම පොදුජන පෙරමුණ විදිහට අපි අගය කරනවා. අනුන් ගහපු ගිවිසුම් නිසා ආණ්ඩු කරද්දී අපි බැටකාල තියෙනවා. 2002 රනිල් - ප්රභාකරන් සටන් විරාම ගිවිසුම අවසන් කරන්න අපිට ගොඩක් මහස්සි වෙන්න වුණා. සටන් විරාම ගිවිසුම සම්පූර්ණයෙන්ම අහෝසි වුණේ අපි කිලිනොච්චියත් අල්ල ගත්තට පස්සෙ.
ඒ හින්දා අනුන් ගහන ගිවිසුම් ගැන අපි බොහෝම පරිස්සම් වෙනවා. සිංගප්පූරු ගිවිසුම් ගැන ඔබතුමන්ලගෙයි, අපේ පක්ෂයෙයි නියෝජිතයො ඉන්න ඒකාබද්ධ තාක්ෂණික කමිටුවක් පත් කරලා අපි ඉදිරි වැඩ සැලසුම් කර ගනිමු." බැසිල්ගේ යෝජනාවට වෘත්තීයවේදීන්ගේ ජාතික පෙරමුණේ එකඟතාව පළවිය.
"සර් අපේ බස් රථ කර්මාන්තය දැනට තියෙන්නේ ස්වයං රැකියාවක් විදිහට. මේ ගිවිසුමෙන් ඒක බහුජාතික සමාගම් සතු ව්‍යාපාරයක් වෙනවා." බස් සංගම් නියෝජිතයෙකු එම අදහස පළකළේය. "අපේ කාලයෙත් ඔය යෝජනාව ආවා* බැසිල් පැවසූ විට &ඔව්.. ඔව්.. ඔබතුමා මැදිහත් වෙලා ඒක නැවැත්තුවා මට මතකයි"වෘත්තියවේදියෙකු කීවේය.
“නියත වශයෙන්ම ඊළඟ ආණ්ඩුව භාර ගන්න ඉන්න පක්ෂය විදිහට අපි දැන් අධ්‍යයනය කරමින් ඉන්නේ මේ තත්ත්වයන්ට මුහුණ දෙන්නේ කොහොමද කියලා. ඔබතුමන්ලා ඒ සඳහා අපිට උදවු කරන්න ඕන. ඒ වගේම අපි මහජනතාවත් මේ සඳහා සූදානම් කරන්න ඕන. මට මතකයි ජපානෙට හාලුයි, ඇපලුයි පිටින් එන්න පටන් ගත්ත වෙලාවේ ජපානය කිව්වා හා ප්‍රශ්නයක් නෑ ඕන තරම් එවන්න කියලා. හැබැයි ජපානය ඒ වෙනකොට දේශීය නිෂ්පාදන පමණක් මිලදී ගැනීමට තමන්ගේ පුරවැසියන් ඉතා හොඳින් පොළඹවලා තිබුණා. අන්න ඒ වගේ අපි උපක්රමශීලීව මේවට මුහුණ දෙන්න ඕන. සැලෙන්න එපා. රට වෙනුවෙන් අපිට ක්‍රම තියෙනවා." බොහොම සැහැල්ලුවෙන් බැසිල් උත්තර දුන්නේය.
ගම්මන්පිල කරූට කතා කරලා
චීන සමූහාණ්ඩුවේ 69 වැනි සංවත්සර උළෙල කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පසුගිය සතියේ බදාදා පැවැත්විණි. එම අවස්ථාවට කථානායක කරු ජයසූරිය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් එක්ව සිටියහ. එම අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ කථානායකවරයා අතරේ සිදු වූ කතාබහ 'අද' පුවත්පතේ සතියේ දේශපාලනය තීරුවේ පළවිය. එම සංවාදයට උදය ගම්මන්පිලගේ සහ මහින්දානන්ද අලුත්ගමගේ නමද එක්ව තිබිණි.
“සර් ගැන සංවාදයක් 'අද' පත්තරේ තියෙනවා" කථානායක කාර්යාලයේ ලේකම්වරයෙකු කරුට කීවේය. කරු එය කියවා බලා පැවසූයේ තමන් එම උත්සවයට සහභාගි වී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමග කතා කළ බවත්, එය සුහද සංවාදයක් වූ බවත්ය. එහෙත් මහින්දානන්ද සහ ගම්මන්පිල තමන් සමග කතා නොකළ බවද කරු කීය. සිකුරාදා 'අද' පුවත්පතේ සංවාදය කියවා බලා දුරකථනයෙන් කරුට කතා කළ ගම්මන්පිල කීවේ "සර් මගේ නමත් මේකට දාලා තිබෙනවා" කියාය.
එහෙත් එම අවස්ථාවට සහභාගි වූ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු සඳහන් කළේ කථානායකවරයා සමග පැවත්වූ සංවාදයට උදය ගම්මන්පිලද එක්වූ බවයි. කෙසේ වුවද උදය ගම්මන්පිල මහතා ලකුණු දමා ගැනීමේ අදහසින් කරු ජයසූරියට කතා කර තිබෙන බව ඒකාබද්ධ විපක්ෂ ප්‍රකාශකයෙක් පැවසීය.
මීට කලින් කවුරුත් මෙහෙම හැසිරිලා නැහැ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම අඟහරුවාදා පැවැත්විණි. එහිදී එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන පිළිබඳවද සාකච්ඡාවට බඳුන් විය. මෙහිදී අමාත්‍ය විජිතමුණි සොයිසා ප්‍රකාශ කළේ මෙම වැඩපිළිවෙළ සඳහා බැංකු නිලධාරීන්ගෙන් ලැබෙන සහයෝගය ප්‍රමාණවත් නොවන බවයි. "ගනුදෙනුකරුවන් නොමග යවමින් සාමාන්‍ය ණය ක්‍රමයට ඇතුළත් වන ලෙස බැංකු නිලධාරීන් ප්‍රකාශ කරනවා. එමගින් ජනතාව අසීරුතාවට පත්වෙනවා. ගනුදෙනුකරුවන් බිය වෙනවා. මේ ගැන සොයා බලන්න" යැයි විජිතමුණි සොයිසා පැවැසීය.
ඉන්පසු අමාත්‍ය සජිත් ප්‍රේමදාස ද ප්‍රකාශ කළේ බැංකු කළමනාකරුවන් විසින් මෙම වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට උත්සාහ කරන බවයි. එම නිසා ජනතාව කලකිරීමට පත්ව ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. විෂය භාර අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළේ මෙම වැඩපිළිවෙළ අඛණ්ඩව අධීක්ෂණය කරන බවයි. බැංකු නිලධාරීන් පිළිබඳ පැමිණිලි ලැබී ඇති බව ඔහු පෙන්වා දුන්නේය. ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද මංගල ප්‍රකාශ කළේය.
ඉන්පසු ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන්ට උසස් අධ්‍යාපන පහසුකම් ලබාදීමට ජාතික මට්ටමේ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීම පිළිබඳ සාකච්ඡා කෙරුණි. එම අවස්ථාවේදී ජනාධිපතිවරයා පොලිස්පති ගැන කතාකරන්නට විය.
"පොලීසිය ගැන මට කනගාටුයි. පොලිස්පතිවරයා විහිළුකාරයෙක් වෙලා. මීට පෙර සිටි කිසිදු පොලිස් නිලධාරියෙකු මෙලෙස හැසිරිලා නැහැ. පොලීසියක් තියෙනවා ද කියලා දන්නේ නැහැ. මේ නිසා මමත්, අග්‍රාමාත්‍යවරයාත් බැනුම් අහනවා. ඒනිසා මේ සඳහා කඩිනම් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. පොලිස්පතිවරයාගේ හැසිරීම ලැජ්ජා සහගතයි. රට තුළ අපරාධ වැඩි වී ඇති බව මාධ්‍ය වාර්තා කරනවා. දැඩි ක්‍රියාමාර්ගයක් ගත යුතු" යැයි ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය. ඊට පිළිතුරු ලබාදුන් විෂය භාර අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පැවැසුවේ අපරාධ ක්‍රමක්‍රමයෙන් අඩුවන බවයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගුවන් යානා ඉන්ධන ලබාගැනීම පිළිබඳ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ලක්ෂ්මන් කිරිඇල්ල විසින් ඉදිරිපත් කර තිබුණි. එය සාකච්ඡාවට ගත් අවස්ථාවේදී මෛත්‍රී මෙසේ පැවැසීය. "ශ්‍රී ලංකන් ගුවන් සමාගම එමිරේට්ස් ගුවන් සමාගම සමග ඒකාබද්ධව කටයුතු කරන කාලයේ ලාභ ලැබුවා. පසුගිය රජය ගනු ලැබූ තීරණයක් හේතුවෙන් පාඩු ලැබීම ආරම්භ වුණා. ඒ අනුව මේ සමාගම මේ වනවිට විශාල පාඩුවක් ලබනවා. ගුවන් සමාගම යථා තත්ත්වයට පත් කිරීමට යෝජනා රැසක් ඉදිරිපත් වුණා. කටාර් ගුවන් සමාගමත් ඒ සඳහා මගේ ඉල්ලීම මත ඉදිරිපත් වුණා. නමුත් ඒවා වැඩක් වුණේ නැහැ." යැයි පැවැසීය.
එවිට කබීර් හෂීම් පැවසුවේ තවත් ගුවන් සමාගමක් මේ සඳහා යෝජනා ඉදිරිපත් කළත් පසුව එය අතහැර දැමූ බවයි. එවිට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙසේ පැවැසීය. "කටාර් ගුවන් සේවය ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබාගැනීමට යෝජනා වාර්තාවක් ඉදිරිපත් කළා. එය සොයාබැලීමට මෙරටට පැමිණි කටාර් ගුවන් සේවයේ නිලධාරීන්ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරීන් ඉදිරිපත් කළ වාර්තාමය වැඩසටහනින් පෙන්වා දුන්නේ නරක පැත්ත විතරයි. හොඳ පැත්ත පෙන්වා දුන්නේ නැහැ. එම නිසා ඔවුන්ට එම උනන්දුව නැති වුණා." යැයි පැවැසීය.
එම අවස්ථාවේ දී ජනාධිපතිවරයා කියා සිටියේ බොල් ණයක් ලෙස සලකා කටයුතු කිරීම තුළින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ආයෝජකයෙකු සොයාගත හැකි බවයි. "මම ඉදිරියේදී සාකච්ඡාවක් කැඳවනවා. එහිදී අවසන් තීන්දුවක් ගමු" ජනාධිපතිවරයා පැවසීය.
හොරු නැති වෙන්නෑ ජීවිතේට
ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් රුපියල් ලක්ෂ 25ක් ලබා ගෙන ඇතැයි පැවසෙන සිද්ධිය සම්බන්ධව විමර්ශන කඩිනම් කරන ලෙස ඉල්ලීමට නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක කොළඹ අපරාධ විමර්ශන කෝට්ඨාසයට පැමිණියේය.
මෙම කරුණ සම්බන්ධව තමන් විසින් මීට පෙර පැමිණිලි කර රහස් පොලීසියට ප්‍රකාශයක් ලබා දුන් බවත්, ඊයේ (04දා) දිනයේදී දෙවැනි වරටත් ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි බවත් නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය.
හොරු ඇල්ලීම පමාවීම සම්බන්ධව මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේදී රංජන් පිළිතුරු දුන්නේ මෙසේය. "හොරු අල්ලනවා කියන එක ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි. ඒකට ජනතාවගේ සහයෝගය ඕන. මම උදාහරණයක් කියන්නම්. කොරියාවේ ළඟදී විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් අපයෝජනය කරලා අහුවුණා. ඒකට සම්බන්ධ ලංකාවේ තිදෙනා දැන් මේ රටට ඇවිත් ඉන්නවා. කොරියාවේ නීතිය අනුව දූෂකයෙකුට දඬුවම් දෙන්න පුළුවන් අවුරුදු 10යි.
නමුත් ලංකාවේ නීතිය අනුව අවුරුදු 20ක් දඬුවම් දෙන්න පුළුවන්. කොරියන් ශිෂ්‍යාව අපයෝජනය කළ පුද්ගලයන් අල්ලන්න අවුරුදු විසි ගාණක් ගිහින් තිබෙනවා. වැඩේ වෙලා තියෙන්නේ අනූ ගණන්වල. මළ සිරුරේ තිබුණු ශුකාණු සාම්පලයක් අරගෙන ලැබ් එකේ තියාගෙන හිටියා. ඊට පස්සේ නැවත විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් අපයෝජනය වුණා. ඒ ශුකාණු සාම්පලයයි, මීට පෙර ලැබ් එකේ තිබුණු ශුකාණු සාම්පලයයි පරීක්ෂා කිරීමේදී සමානකමක් තිබුණා.
ඒකෙන් තමයි අහුවුණේ මේ ලංකාවේ කෙනෙක් කියලා. ඉතින් පරීක්ෂණවලට කල්යනවා. අපට තාජුඩීන්ගේ ඝාතකයන් අල්ලන්නෑ කියලා බණිනවා. ලසන්ත වික්රමතුංගගේ, එක්නැලිගොඩගේ, කීත් නොයාර්ගේ අල්ලන්නෑ කියලා බණිනවා. ජනතාව තේරුම්ගන්න ඕන මේවාට ඩී.එන්.ඒ. රිපෝට් ගන්න ඕන, 'බී' වාර්තා අධ්‍යයනය කරන්න ඕන, බැංකුවල ගිණුම් සියල්ල අධ්‍යයනය කරන්න ඕන. බැංකුවලට ගියාම සහයෝගයක් නැහැ. මේ සේරම එක්ක තමයි සටන කරන්නේ. හොරු නැති ආණ්ඩුවක් නැහැ.
පසුගිය හොරු පිරිච්ච ආණ්ඩුවක් එක්ක යහපාලන ආණ්ඩුවක් කියලා මම හිතනවා. හොරු නැති වෙන්නෑ ජීවිතේට. මේ ආණ්ඩුවෙත් හොරකම් කරනවා. පසුගිය ආණ්ඩුව එක්ක සංසන්දනය කරද්දී හොරු අඩු ආණ්ඩුවක් යහපාලන ආණ්ඩුව. යහපාලන ආණ්ඩුව හොරු ටිකක් හරි අල්ලන ආණ්ඩුවක්. මේ ටිකේ හොරු ටිකක් ඇල්ලුවා."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd