Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
යහපාලන ආණ්ඩුව පරාජය වීමට බලපෑ හේතු සාධක සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය මේ වනවිට සමාලෝචනයක් සිදුකරමින් සිටින අතර, මෙම පසුබිම තුළ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා අද අප සමග පළකළ අදහස් ඇසුරින් මෙම ලිපිය සකස් කෙරේ.
බොරු නාඩගම් පෙන්වා ජනතාව මුළා කළා
බොරුවෙන්ම ඉපදිලා, බොරුවෙන්ම බලයට පැමිණි වත්මන් ආණ්ඩුව බොරු නාඩගම් ටිකක් පෙන්නුවා. විල්පත්තු නාඩගම ඉන් එකක්. මේක සමාජ මාධ්‍ය ජාලා තුළත්, පාර්ලිමේන්තුවේත්, වේදිකාවේත් දිගින් දිගටම නටපු නාඩගමක්.
අද වෙද්දී විල්පත්තුව ආසන්නයේ ඉන්න ජනතාව පදිංචි වී සිටින කොටස් සියල්ල ඔවුනට භාරදීලා ඉතුරු කොටස සිතියම් ගතකරලා ගැසට් කිරීමට අධිකරණයට යෝජනා කර තිබෙනවා. මෙතෙක් කාලයක් මේ නාඩගම පිටුපස්සේ හිටියේ කවුද? ඉතාම තාත්වික විදිහට මෙවැනි අසත්‍ය පුවත් නිර්මාණය කරන්න පුළුවන්, නාට්‍ය හදන්න පුළුවන් කට්ටියක් මේ ආණ්ඩුවේ සිටිනවා කියන එක ඉතාම පැහැදිලියි.
ඊළඟට වෛද්‍ය සාෆි නාටකය. වෛද්‍ය සාෆි කාන්තාවන් අතිවිශාල ප්‍රමාණයක් වඳභාවයට පත්කරලා තිබෙන බවට මාධ්‍ය තුළත්, රට තුළත් දැවැන්ත ප්‍රචාරයක් ගෙනයමින් නාඩගමක් නැටුවා. බලයට පත්වෙලා, ජනාධිපතිවරයා, ඇමති මණ්ඩලය පත්වෙලා ඉවරයි. හැබැයි සාෆි නාඩගම දැන් අවසන් වෙලා තිබෙනවා. මුළාවෙන්, වංචාවෙන්ම තමයි මේ අය වැඩකරලා තිබෙන්නේ.
මුස්ලිම්කඩවලට විරෝධය දක්වන්න, ජාතිවාදය පතුරුවන්න, වඳපෙති නාඩගමක් නැටුවා. අද වනවිට වඳපෙති නාඩගම අවසන් වෙලා තිබෙනවා. කාන්තා වඳ යට ඇඳුම් නාඩගමක් නැටුවා. අද ඒ නාඩගමත් අවසන් වෙලා තිබෙනවා. මේ ඔක්කොම නාඩගම්, නාට්‍යය ටික ඉතා හොඳින් රඟ දක්වන්නට, ඉතා හොඳින් අධ්‍යක්ෂණය කරන්නට ඔවුන් සමත් වෙලා තිබෙනවා. අවසානයේදී කැලණි විහාරයේ නයි නාඩගමක් තිබුණා. මේක අත්භූතජනක , මහා විහිළු සපයන, මිථ්‍යාව රජකරවන, ඕනම මිථ්‍යාවක් පිළිගන්නා අබුද්ධිමත් ජනතාවක් ඉදිරියට ගෙනියන්න පුළුවන් නාඩගමක්. මෙයට සම්බන්ධ තැනැත්තා කැස්බෑවේ කපුකම් කරගෙන හිටි කෙනෙක්. කාලයක් අතුරුදහන්ව සිටි මෙම පුද්ගලයා කැලණි විහාරයේ නයි නාඩගමත් එක්ක නැවත කැලණි ගං පතුළෙන් ප්ලාස්ටික් බෝතලයක කරඬුව සහ ධාතූන් වහන්සේලා 16නමක් සමග නැවත ඉදිරියට ආවා. මේක රූපවාහිනියෙන් දැකපු උදවිය මේ පුද්ගලයා පිළිබඳව නැවත සොයා බැලිය යුතුයි. ඔහු නැවතත් දර්ශනයෙන් තොර වෙලා තිබෙනවා.
යහපාලනට විරුද්ධ වූ සංවිධාන විසුරුවා හැරීම
මැතිවරණ ප්‍රතිඵලත් එක්ක රාවණා බලය විසුරුවාහැර තිබෙනවා. මේක මාර වැඩක්. විරුද්ධ පක්ෂයේ සිටින විට පමණයි රාවණා බලය ඕන වෙන්නේ. මේ රටට ආදරේ නම් කුමන ආණ්ඩුවක් ආවත් %රාවණා බලය^ එසේම සිට මේ ආණ්ඩුව තුළිනුත් අයහපත් දේ වෙනවාද කියා සොයා බැලිය යුතුයි. අද දවසේ තිබෙන ප්‍රශ්න ගැන මෙම සංවිධානයට කතා කරන්න පුළුවන්.
ඒ වගේම බොදුබල සේනා සංවිධානය විසුරුවා හරින බව කියා තිබෙනවා. බොදුබල සේනාවටත් අද කතාකරන්න දේවල් තිබෙනවා. මහවිරු සැමරුම් උතුරු සහ නැගෙනහිර පැවැත් වුණා. ඒ නිසා මෙම සංවිධාන විසිරුවා හරින එක නෙමෙයි කළ යුත්තේ. සක්‍රීයව ඉඳගෙන කුමන කණ්ඩායමක් රාජ්‍ය පාලනය සිදුකළත් රටේ සිදුවන කරුණු පිළිබඳව, සිද්ධීන් පිළිබඳව සාධනීය විදිහට විවේචනය කරන්න පුළුවන්.
වඳ බ්‍රෙසියර් ගැන කියද්දී, වෛද්‍ය සාෆි ගැන කියද්දී , විල්පත්තුව ගැන කියද්දී කෑ ගහපු උදවිය ඇයි අද නිහඬ? ඇයි මේ අය විසුරුවා හරින්නේ? මේ සංවිධාන සක්‍රීයව ඉඳලා මේවා පිළිබඳව කතාකිරීමයි කළ යුත්තේ. ඇයි අද ඒ ගැන කතා කරන්නේ නැත්තේ? දැන් අපරාධ කළා කියලා බයවෙන්න දෙයක් නැහැ. රටේ ජනාධිපතිවරයාට විරුද්ධව අපරාධ නඩු තිබුණා. රාජ්‍ය දේපොළ අයථා ලෙස භාවිතා කළ බවටයි මෙම නඩු තිබුණේ. ජනාධිපති ධුරයට පත්වූ විට ලැබෙන මුක්තිය තුළ අධිකරණයට ජනාධිපතිවරයා කැඳවීමට නොහැකි නිසා නඩු සියල්ලෙන්ම ඔහු නිදහස් වෙනවා. නැවත ජනාධිපතිධූරයේ මුක්තිය අහිමි වූ දිනකදී තමයි නැවත නඩු පවරන්න වෙන්නේ. එතකම් මෙම නඩු ඉදිරියට ගෙන යන්න බැහැ.
රට බෙදන සිතියම
2015ට පෙර ආණ්ඩුව තුළ ඉපයූ ධනස්කන්ධය කොහොමද පරිහරණය කරන්නේ කියන ගැටලුව මොවුන්ට තිබෙනවා. මෙහේ කොහේද තැන්පත් කරන්නේ. විවිධ රාජ්‍යවල තිබුණු මුදල් මෙහේට නීත්‍යානුකූලව ගේන්නේ කොහොමද? ඒකට අවකාශය හදාගන්න පෙනී සිටින්න ඕන. ඒ නිසා තමන්ගේ ජීවිතය පැත්තට තියලා අපි ලබාදුන් නිදහස තුළ, ජීවිතවලට අනතුරක් සිදුනොවන බවට සහතිකයක් ලැබී තිබෙන නිසා ඒ අය ඉදිරියට ඇවිත් දිනපතා ප්‍රශ්න ඇති කළා. රටේ කුමන තැනක හෝ උද්ඝෝෂණයක් කළා. විශ්වවිද්‍යාල සිසුන් අල්ලගෙන, රාජ්‍ය සේවකයන් අල්ලගෙන ඒවා කළා. වැටුප් විෂමතාවක් ගැන කියමින් උද්ඝෝෂණ කළා. අබාධිත රණවිරුවන් ගෙනවිත් උද්ඝෝෂණ කළා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රට පුරා ගිලන් රථයටත් අවලාද කිව්වා. ඉන්දියන් රෝ ඔත්තු කාරයෝ එන බව, ඉන්දියාවේ අය යන්නේ, මේ ගිලන්රථවල යන්න එපා, ලෙඩාට කරන්ට් වැදිලා මැරේවි, සුවසැරිය ඇම්බියුලන්ස් එකේ එන්නැතුව ත්‍රිරෝද රථයේ එන්න කියලා මේ අය කිව්වා.
වෛරය, ක්‍රෝධය හා ජාතිවාදය බොහොම අගේට වැපුරුවා. ඒ නිසා තමයි මැතිවරණයේ ප්‍රතිඵලය එනකොට සිංහල බෞද්ධ කණ්ඩායම එක පිලකටත්, අනෙත් කණ්ඩායම තව කණ්ඩායමකටත් වැටෙන විදිහට ලකුණු එන්න ගත්තේ. එල්ටීටිඊ සංවිධානයට රට බෙදන්න ඕන වෙලා තිබුණා. ඒ සඳහා එල්ටීටිඊ සංවිධානය සිතියමක් ඇඳලා තිබුණා. මෙවර මැතිවරණයේ සිතියම දිහා බලද්දී ඒ සිතියම් දෙක අතර වෙනසක් නැහැ. උතුරු නැගෙනහිරත්,මුහුදු තීරයේ යම් ප්රදේශයකුත්, කඳුරට ප්‍රදේශයත් වෛරය, ක්‍රෝධය හා වර්ගවාදය, ජාතිවාදය මුල්කරගෙන ගෙන ගිය මැතිවරණ ව්‍යාපාරය නිසා බෙදීමට කටයුතු කර තිබෙනවා.
එම්සීසී ගිවිසුම අහෝසි කරන බව කියන්න
මෙම ගිවිසුම මගින් රට බෙදනවා කිව්වා. ඇමෙරිකාවට විකුණනවා කිව්වා. ඇමෙරිකාව ඇවිල්ලා මේ රට පාලනය කරනවා කිව්වා. ඇමෙරිකාවේ කොරිඩෝවක් හදනවා කිව්වා. විමල් වීරවංශ, ගම්මන්පිල ඇතුළු නඩයේ සියලුදෙනා මේ කතාව කිව්වා. වර්තමාන ජනාධිපතිවරයා හා අගමැතිවරයා හෝ වගකිව යුත්තෙක් ජාතිය අමතලා රටට කිව යුතුයි එම්සීසී ගිවිසුම අත්සන් කරන්නෑ කියලා. ජනාධිපතිවරණයේදී මේකට විරුද්ව කෑ ගැහුව වීරවංශලා, ගම්මන්පිලලා දැන් ඇමති මණ්ඩලයෝ සාමාජිකයෝ.ඇමති මණ්ඩලය, ඇගමැතිවරයා පත්කරලා ඉවරනම් දැන් කියන්න ඇමෙරිකාව එක්ක මේ ගිවිසුම අත්සන් කරන් නේ නෑ කියලා. මේක කියාගන්න පණ තියෙන්න ඕන. මැතිවරණ කාලෙට විතරක් පාවිච්චි කරනවානම් මැතිවරණයෙන් පසුවත් ඒ ගැන කිව යුතුයි.
දැන් මාධ්‍යයට අත තියලා ඉවරයි
රටේ ජනතාවත්, රාජ්‍ය සේවකයනුත් බය ගන්නවලා වැඩගන්නා යුගයකට ඇවිත් තිබෙනවා. අපි යහපාලනය තුළ මිනිස්සුන්ට ඕන දෙයක් කතාකරන්න ඉඩ දුන්නා. මාධ්‍යවේදීන්ට ඕන තරම් විවේචනය කරන්න දුන්නා. මාධ්‍යවේදීන්ට ලියන්න දුන්නා. අපි කතාකරපු දෙයක් පුංචි වැරදි දෙයක් තිබුණොත් ඒ කෑල්ල පාවිච්චි කරන්න දුන්නා. අපි කතාකරපු කෑල්ල තව කෑල්ලක් සමග මැදින් කපලා බට්කරලා අපිට අවාසිදායක විදිහට පාවිච්චි කරන්න දුන්නා. හැබැයි කිසිම මාධ්‍ය ආයතනයකට අපි කිසිම දේශපාලනඥයෙක් තර්ජනය කළේවත්, බැණ වැදුනේවත්, ඇතුළට ගිහින් බෝම්බ ගැහුවේවත්, ගිනි තිබ්බෙවත් නැහැ. කිසිම මාධ්‍යවේදියෙකුට පුද්ගලිකව කතාකරලා තර්ජනය කළේ නැහැ. කිසිදු මාධ්‍යවේදියෙක් පැහැරගෙන ගියේ නැහැ. යහපාලනය තුළ අපේ කෑලි අරහෙන්, මෙහෙන් අමුණලා, බට් කරලා, ගහලා අපිව නැතිකරන්න කටයුතු කළාට මාධ්‍යවේදීන්ට ඉදිරි කාලයේදී එහෙම කරන්න ලැබෙන එකක් නැහැ.
පොලීසිය අකමැත්තෙන්
පොලීසියේ කොයි නිලධාරියාද කැමති කුණු අදින්න? පොලිස් සේවයට පොලිස් නිලධාරීන් බැඳිලා තියෙන්නේ නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීමටයි. රටේ විනය සකස් කිරීමට පැය 24 පුරාම සිටින එකම ආයතනය පොලීසිය. රටේ නීතිය ක්‍රියාත්මක කළොත් තමයි රටේ විනයක් හැදෙන්නේ. විනයගරුක රටක් සෞභාග්‍යමත් අනාගතයක් හදන්න පොලීසිය අරන් ගිහින් කුණු අදින්න දානවා. පොලීසියේ නිලධාරීන් මේකට කැමැත්තෙන් නෙමෙයි යන්නේ. මමත් හිටපු පොලිස් නිලධාරියෙක්. මම දන්නවා පොලීසියේ සිතුවිල්ල කොහොමද, හද ගැස්ම කොහොමද කියලා. මට පොලිස් නිලධාරීන් හමුවී පොලීසියට තිබෙන බලපෑම් ගැන කියා සිටියා. පසුගිය කාලයේදී පොලීසියට කවුරුවත් කතාකළේ නැහැ. නිදහසේ වැඩකරන්න ලැබුණා. මේ වනවිට ඇතිවී තිබෙන බලපෑම් ගැන ඔවුන් කරුණු හෙළිදරව් කළා.
මේ එන්නේ ඒකාධිපතිත්වයට
ගෞතම බුදුන් වහන්සේ සිහිපත් කිරීම සඳහා අෂ්ටඵල බෝධීන් වැඩසිටින විහාරස්ථානයක් තමයි බෙල්ලන්විල විහාරස්ථානය කියන්නේ. ජනාධිපතිවරයා දිවුරුම් දුන් පසුව එම විහාරයට ගියා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන බව ඔහු එහිදී කිව්වා. මේ 19 ඇතිකළේ රටේ මිනිස්සුන්ට, රජයේ නිලධාරීන්ට නිදහසේ බියකින් තොරව වැඩකරන්න අවස්ථාව ලබාදීමටයි. අධිකරණය ඇතුළු සියලුම රාජ්‍ය ආයතන ස්වාධීන කරන්න, බිය නැතිව වැඩ කිරීම සඳහා, විනිවිදභාවයෙන් වැඩ කරන්න, තොරතුරු ලබාගැනීමට, රාජ්‍ය නිලධාරීන් හෝ වෙනත් පුද්ගලයෙක් හෝ දේශපාලනඥයෙක් කළ වරදක් පිළිබඳව තොරතුරු ලබාගන්න, ස්වාධීන වූ අධිකරණයට ගිහින් යුක්තිය ඉල්ලා අයදීමට තමයි ඒකාධිපතිත්වය නැතිකරලා අපි 19 වැනි සංශෝධනය ගෙනවිත් ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීමට කටයුතු කළේ.
අෂ්ඨඵල බෝධීන් වහන්සේ වැඩ සිටින බෙල්ලන්විල විහාරයට ගිහින් ජනාධිපතිවරයා කිව්වේ අනිත් උදවියගේ බිය ඇති කිරීම සඳහා සමානාත්මතාව, නිදහස නැති කරලා නැවතත් ඒකාධිපතිත්වයට යාම සඳහා 18 ක්‍රියාත්මක කළ යුතුයි. කොමිෂන් සභා එක්ක වැඩ කරන්න බෑ කියලා. එහෙනම් රටේ සියලු ජනතාව සූදානම් වෙන්න ප්‍රජාත්‍රන්ත්‍රවාදයට නෙමෙයි මේ එන්නේ ඒකාධිපතිත්වයට කියන එක අවබෝධ කරගෙන ඊටවිරුද්ධව පෙළ ගැහෙන්න. 19 අහෝසි කළ විට සියලුදෙනා බය වෙනවා. ඊට පස්සේ මාධ්‍යවේදියෙක් ලියන් නෑ. වෙබ් පරීක්ෂා කළාම බයයි. කසකාරයා ඔය ආවේ. ඉතුරු හරිය පිටුපස්සෙන් වහා ඒවි.
සිරිසේන සමග පැමිණි අනෙක් ඇමති නඩය
යහපාලනය අපි ගෙනාවේ රට සහ ජනතාව ගැන හිතලා. ජනතා නිදහස උපරිමයෙන් දීලා, ජනතා අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා පියවර ගැනීම සඳහා තමයි අපි යහපාලනය ඇති කළේ. සිරිසේන උන්නැහේ අපේ ආශීර්වාදයෙන් පත්වෙලා යහපාලනයට ගහන්න ගත්තා. සිරිසේන පමණක් නොව සිරිසේනගේ නඩයත් කළේ ඒකමයි. දැන් ඒක බොහොම පැහැදිලිව පේන්න තියෙනවා. මේක අපි එදා කියනකොට රටේ ජනතාව පිළිගත්තේ නැහැ. දැන් සාක්ෂි සාධක කරුණු කාරණා අනුව ඉතා පැහැදිලියි සිරිසේන ඉව අල්ලන්නේ ජාතික ලැයිස්තුවේ කෙනෙක් ඉල්ලා අස්වීමට පත්කරලා ඒ හිස්තැනට ජාතික ලැයිස්තුවට පාර්ලිමේන්තුවට එන්න.
සිරිසේන සමග පැමිණි අනෙක් ඇමති නඩය අපෙන් වාසි ප්‍රයෝජන ගනිමින්, යහපාලය තුළ බුක්ති විඳින්න තියෙන සියලුම දේවල් භුක්ති විඳිමින්, යහපාලනය විවේචනය කරමින්, යහපාලනයට පහර ගසමින් ඔවුන් රඟපාලා තියෙන්නේ කුමන නාටකයක්ද කියන එක පැහැදිලියි.
popular news
lio Tuesday, 03 December 2019 03:30 PM
මේ කියන චෝදනා වලක්වන්න ඔහෙලට බැරිවුනා දෙන කටමෙත දොඩන්නේ නැතුව හොයාගත්ත සල්ලිවලින් සතුටින් ඉන්න
Reply : 0 0
මුණසිංහ Thursday, 05 December 2019 07:05 AM
තවමත් දොඩවනවා. පාඩම් ඉගෙන ගෙන නෑ. ඔයාගේ ආසනේ කීයකින් පරාද ද? ඔයාගේ ඔය කතා තමන්ගේ ආසනේ අයවත් විශ්වාස කලාද? මහ මැතිවරනෙනුත් කැපිල යන්න වගේ හදන්නේ!
Reply : 0 0
ගමගේ Thursday, 05 December 2019 02:30 PM
ඔය LSSP එකෙන් කියපු සේරටම ජනතාව ඇහුම්කන් දුන්නේ, UNP එකට මහා බැංකු වංචාවට වැරදි කරුවන් සොයල ජනතාව ඉදියට ගෙනල්ල නඩු අහල දඩුවම් නොදීමයි. එක කලානම් පච ප්‍රකාශ වලට නොරැවටී UNP එකට ජනතාවගේ විස්වාසය ඉදිරියට ලැබෙන්න තිබුන. මෙතැනයි වැරදුනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd